විදුලි බිල ඉහළ දැමීමට අවසර ඉල්ලයි. ලෙකෝ සමාගමේ පාරිභෝගිකයින්ටත් විදුලි බිලට නව බද්දක්

0
ලෙකෝ සමාගමේ

ලංකා විදුලි පුද්ගලික සමාගම හෙවත් ලෙකෝ සමාගමේ විදුලි බිලට මේ මාසයේ සිට සියයට 2.5ක සමාජ ආරක්ෂණ බද්ද එකතු කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව සැප්තැම්බර් 08 වනදා සිට එය බලපැවැත්වෙන අතර ලබන මාසයේ පාරිභෝගිකයා වෙත ලැබෙන විදුලි බිලෙහි නව බද්ද ඇතුළත් කර තිබෙන බව විදුලිබල අමාත්‍යංශය පැවසීය.

විදුලිබල මණ්ඩලය මගින් නිකුත් කළ බිල්පත් සඳහා මීට පෙර සිට එම බදු අය කළ අතර 2022 අංක 25 දරණ සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනතේ දෝෂ තත්ත්වයක් හේතුවෙන් ලෙකෝ බිල්පත් සඳහා එය ඇතුළත් කර නොතිබුණි.

ලෙකෝ හෙවත් ලංකා විදුලි පුද්ගලික සමාගම සතුව ලක්ෂ 12ක පමණ පාරිභෝගිකයින් පිරිසක් සිටී.

ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් බිල වැඩිකරන්න අවසර ඉල්ලයි

විදුලි බිල ඉහළ දැමීමට අවසර දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය නරේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, මේ වසරේ අපේක්ෂිත ප්‍රමාණයෙන් ජල විදුලිය නිෂ්පාදනයට නොහැකි වීම හේතුවෙන් විදුලි නිෂ්පාදනයට අතිරේක පිරිවැයක් වැය වූ බවයි.

මේ වසරේ අපේක්ෂා කළ ජල විදුලි ධාරිතාව ගිගා වෝට් පැය 4500ක් වුවත් ලබා ගැනීමට හැකිවූයේ ගිගා වෝට් පැය 3750 ක් පමණක් බව සාමාන්‍යාධිකාරිවරයා පැවසුවා.

ගිගා වෝට් පැය 750 ක් අතිරේකව තාප බලාගාරවලින් ලබා ගැනීමට සිදුවූ අතර ඒ සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදුවූ බව ඔහු සඳහන් කළා.

පවතින තත්ත්වය හමුවේ විදුලි නිෂ්පාදනයට වැය වූ අතිරේක මුදල පියවා ගැනීමට මෙම අතිරේක ඉල්ලීම 27 වනදා සිදු කළ බව ආචාර්ය නරේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා.

ඔහු සඳහන් කළේ ඊට අදාළ සවිස්තරාත්මක දත්ත ලබන සඳුදා දිනයේ මහජන උපයෝගිතා කොමිසමට ලබා දෙන බවයි.