චැනල් 4 අනාවරණය වහන සෙල්ලම: තවත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්?

0
චැනල් 4 අනාවරණය

මිනීමරුවා ජීවතුන් අතර සිටීම, මිනීමැරුමක සුලමුල සොයාගැනීමට ඇති ප්‍රධාන මාර්ගයයි. මිනිමරුවාත් මියගොසින් නම්, ඒ අපරාධය ලිහාගැනීම තරමක් දුෂ්කර වන්නේය. පාස්කු ප්‍රහාරයේ බිම් මට්ටමේ මිනීමරුවන් මියගොසිනි. මේ අපරාධයේ ක්‍රියාන්විතයට නොගොස් පිටත සිට එය සංවිධානය කළ සහ/හෝ එහි සාර්ථකත්වය අපේක්ෂා කළ සියල්ලන්ට, අර මිනීමරුවන් මියගොස් සිටීම එක්තරා ආශිර්වාදයක් වූවාට සැක නැත.

එහෙත්, සෑම අපරාධයක් තුළම එය ලිහාගැනීමේ අඩුවැඩියත් ස්වභාවයෙන්ම අඩංගුව තිබේ. දක්ෂ විමර්ශකයෝ ඒ සැඟවුණු කරුණු ඔස්සේ ගොස් අපරාධය නිරාවරණය කරගනිති. ඒ නිසා, සහරාන් ඇතුළු මිනීමරුවන් මියගොස් සිටීම, පාස්කු ප්‍රහාරයේ වගතුග සොයාගැනීමට අනිවාර්ය බාධකයක් විය යුතුව තිබුණේ නැත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දක්ෂ නිලධාරීහූ පාස්කු සිද්ධියේ සියලු හෝඩුවාවල් පස්සේ පැන්නූහ. ඔවුන් පැමිණි නිගමනය වුණේ, සහරාන් ඇතුළු කල්ලියට අමතරව, ඔවුන්ට සෘජුව හෝ වක්‍රව සම්බන්ධව සිටි සහ මේ ත්‍රස්තවාදී ක්‍රියාව ආශිර්වාදයක් කරගැනීමට අපේක්ෂා කළ තවත් පිරිසක් ‘රට ඇතුළේම’ සිටි බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පමණක් නොව, හිටපු නීතිපති දප්පුල ඩි ලිවේරාද, විශ්‍රාම යාමට ආසන්නයේ එක් අවස්ථාවක මේ කතාවම කියා සිටියේය. එනම්, ‘මහ මොළකරුවා’ සහරාන් නොවන බවයි. අපරාධය සිදු වූ උණුසුම යටතේම නොවුණත්, ඊට පසුව සිද්ධි පෙළගැසුණු ආකාරය අනුව, සාධාරණ අනුමිතීන් යටතේ එම ‘සත්‍යය’ අනුමාන කිරීමට සාමාන්‍ය ජනතාවටත් හැකියාව ලැබුණි.

පාස්කු ප්‍රහාරය සිදු වී දින හතක් ගියේ නැත. ගෝඨාභය රාජපක්ෂ තමා ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට හදිසියේම ප්‍රකාශකොට සිටියේය. එය, ජනාධිපතිවරණයක නාමයෝජනා කැඳවීමක් ප්‍රකාශයට පත්කොට තිබූ මොහොතක් නොවේ. ඊළඟ ජනාධිපතිවරණයට තව මාස හතක් තිබුණි. මිනියවත් තවම වළලා නැති මළගෙයකට ගොස් කෙනෙකු මඟුල් යෝජනා කරන්නේ, ඒ මරණය සහ තමාගේ විවාහ යෝජනාව අතර අවියෝජනීය සම්බන්ධයක් ඇති විටදී පමණි. (ගබ්රියෙල් ගාර්සියා මාර්කේස්ගේ ‘කොලරා කාලේ ආලේ’ කෘතියේ එවැනි අවස්ථාවක් අපට හමු වෙයි).

අවමඟුලද, මඟුලක්ම ය

මේ සාමූහික අවමඟුල, ගෝඨාභයට අවමඟුලක් නොව, මඟුලක්ම විය. එහෙත් එසේ වූ පමණින්, ඒ අවමඟුල (අපරාධය) සිදු කළ පුද්ගලයා ඔහු යැයි නිගමනය කිරීමට නොහැකි බව කෙනෙකු කිව හැකිය. එය ඇත්තයි. දැන් චැනල් 4 අනාවරණයට විරුද්ධව පෙනී සිටින රාජපක්ෂවාදී ජාතිමාමකයෝ මේ කාරණය වෙනත් මානයකින් රටට ඉදිරිපත් කරමින් සිටිති. ඔවුන් මතු කරන ප්‍රශ්නය වන්නේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා මුස්ලිම් භක්තිකයන් හතර දෙනෙකුට දිවි පිදීමට තරම් තිබුණු කැසිල්ල කුමක්ද යන්නයි.

මොවුන්ගෙන් මුලින්ම ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ, ඒ මුස්ලිම් ත්‍රස්තවාදීන් මරාගෙන මැරුණේ ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කරවීම සඳහා යැයි කිව්වේ කවුද යන්නයි? ගෝඨාභය රාජපක්ෂ දෙසට ඇඟිල්ල දිගු කළ කිසිවෙකු, අර ත්‍රස්තවාදීන් දිවි දුන්නේ ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කිරීම සඳහා යැයි කියා නැත. මීට කලකට ඉහතින් ‘සොනික් සොනික්’ නමින් හැඳින්වූ කාරණයේදීත්, ඊට පසුව එක දිගටම ගෝඨාභය රාජපක්ෂට සහ හමුදා බුද්ධි අංශ වෙත චෝදනාත්මක ඇඟිල්ල දිගු කෙරෙන වකවානුවේත්, කිසි විටක, එවැනි සම්බන්ධයක්, එනම් අන්තවාදීන් දිවි නසාගත්තේ ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කරවීම සඳහා යැයි කිසිවෙකු කීවේ නැත.

නග්න සත්‍යය වන්නේ, තමන්ගේ ක්‍රියාවෙන් ගෝඨාභය රාජපක්ෂ කෙනෙකු බලයට පත්වේවිද කියා අර ත්‍රස්තවාදීන්ගේ හිතේ අහලකවත් නොතිබුණු බවයි. ඔවුන්ට තිබුණේ වෙනම අභිමතාර්ථයකි. ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූවත්, වෙන කෙනෙකු බලයට පත්වූවත් අන්තවාදීන්ට එය වැදගත් නැත. ඔවුන්ට වැදගත් වුණේ, තමන් විශ්වාස කරන ආගමික විශ්වාසයක් උඩ මහා විනාශයක් ඇතිකොට තමන්ගේ ජීවිතයත් ඒ සඳහා පූජාකොට ඊළඟ ආත්ම භවයේදී ඊට ප්‍රතිලාභ අපේක්ෂා කිරීම හෝ තමන්ගේ ප්‍රජාවට සිදු වී යැයි සිතන සමාජ අසාධාරණයක් වෙනුවෙන් සමස්ත සමාජයෙන් පළිගැනීම හෝ ඒ දෙකමයි.

අප ඉදිරියේ කවදත් පැවති සැබෑ ප්‍රශ්නය වුණේ, ඔවුන්ගේ ඒ ත්‍රස්තවාදී ක්‍රියාව, තමන්ගේ වාසිය සඳහා ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුට පක්ෂපාතී හමුදා බුද්ධි අංශ මගින් අපේක්ෂාකොට තිබිණිද යන්නයි. ඒ නිසා, මේ දෙක අතරේ සම්බන්ධයක් තිබිය හැකි යැයි කියන විට එයින් අදහස් කරන්නේ ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාව පිළිබඳව, ගෝඨාභය රාජපක්ෂ සහ සුරේෂ් සලේ වැනි නිලධාරීන් කල්තියා දැනගෙන සිටින්ට ඇති බවත්, එම සිද්ධිය වැළැක්වීම සඳහා ඔවුන්ට ගත හැකි කිසි ක්‍රියාමාර්ගයක් ඔවුන් විසින් නොගෙන සිටින්ට ඇති බවත් ය. ඔවුන් එසේ සිටින්ට ඇත්තේ, ඒ ත්‍රස්තවාදී ක්‍රියාව තුළින් ඇති කෙරෙන සාමූහික භීතිය සහ අරාජක මනෝභාවය, තමන්ට බලයට පත්වීම සඳහා ප්‍රයෝජනවත් වෙතැයි දැන සිටි නිසා බවත් ය.

ප්‍රබන්ධයක් යථාර්ථය බවට පත්වීම හෙවත් හීනය සැබෑ වීම

ඡන්ද ජයග්‍රහණය කිරීම සඳහා ජීවිත අනාරක්ෂාව පිළිබඳ හැඟීමක් සමාජයේ ඇති කිරීම තරම් සාර්ථක ඔසුවක් තවත් නැත. කොටි සංවිධානය ක්‍රියාකාරීව සිටින තාක් කල්, ඒ සංවිධානය විසින් ඇති කෙරුණු අනාරක්ෂාව විවිධ අවස්ථාවල දකුණේ විවිධ පක්ෂ විසින් නොමසුරුව ප්‍රයෝජනයට ගෙන ඇති බව අපි දනිමු. එහි යම්කිසි තර්කයක් එදා තිබුණි. එහෙත්, 2009 දී යුද්ධය අවසන් වීමත් සමග, මේ හුරුබුහුටි හොල්මන දකුණේ දේශපාලනඥයන්ට අහිමිව ගියේය. ඉන්පසු ඒ වෙනුවට, දකුණේ බලකාමී දේශපාලනඥයන්ගේ ‘බිල්ලා’ බවට පත්වන්නේ මුස්ලිම් ප්‍රජාවයි. පාස්කු ප්‍රහාරය යනු, ප්‍රබන්ධයකින් පටන්ගත් ඒ මුස්ලිම් බිල්ලාගේ කතාව, යථාර්ථයක් වශයෙන් එළිදැක්වුණු අවස්ථාවයි.

චැනල් 4 අනාවරණය සමග මේ චිත්‍රය දැන් පැහැදිලි වෙමින් තිබේ. ත්‍රස්තවාදීන්ගේ සැලැස්මට රාජපක්ෂලා ආශිර්වාද කළා පමණක් නොව, සුරේෂ් සලේ වැනි බුද්ධි අංශ ප්‍රධානීන් හරහා ඒ සැලැස්ම ක්‍රියාවේ යෙදවීම සඳහා සක්‍රීය දායකත්වයකුත් ඔවුන් විසින් සපයා ඇත්ද යන ප්‍රශ්නය, චැනල් 4 හරහා අප ඉදිරියේ මතු වෙයි. මෙය පවා, නිල නොවන ආරංචි මාර්ග ඔස්සේ බොහෝ කාලයක් තිස්සේ සමාජයේ සංසරණය වෙමින් පැවති රාවයකි. කොටි සංවිධානයට එරෙහිව පාවිච්චි කෙරෙමින් තිබුණු නැගෙනහිර මුස්ලිම් අන්තවාදී කල්ලි, අවසානයේ කොටි සංවිධානය යුද බිමේ පරාජය කිරීමෙන් පසුව පවා, රාජපක්ෂලා විසින් නඩත්තු කරන ලදි. මහින්ද රාජපක්ෂගේ දෙවැනි ධුර කාලය තුළ එක දිගටම එවැනි මුස්ලිම් කල්ලිවලට (ඒවා හැඳින්වුණේ ‘බුද්ධි අංශ’ වශයෙනි) වැටුප් පවා ගෙවමින් තිබුණු බවට වාර්තා පළ විය. ගලගොඩඅත්තේ ඥානසාරලාව දකුණේ ක්‍රියාන්විතයට රැගෙන ආ හැක්කේ එවැනි මුස්ලිම් අන්තවාදී කල්ලි රට තුළ එක විට නඩත්තු කිරීමෙන් බව, රාජපක්ෂවාදී ‘බුද්ධි අංශ’ මේ කාලය වන විට තේරුම්ගෙන තිබුණි.

‘ටි්‍රපොලි’ යනු වෙළෙඳපොළක් නොව ඝාතක තිප්පොළකි

අප පාසල් යන කාලයේ ‘ටි්‍රපොලි’ යනු, එළවළු, පලතුරු ආදිය ලාබෙට ලබාගත හැකි, රජය සතු වෙළෙඳපොළකි. රාජපක්ෂලාගේ කාලයේදී මෙය මිනීමරු තිප්පොළක් බවට පත්විය. ජාතිවාදී දේශපාලනයට අමතරව, රාජපක්ෂලාගේ සිතැඟියා ප්‍රායෝගික තලයේ ක්‍රියාවට නැංවුණේ මේ මධ්‍යස්ථානයෙනි. ලසන්ත වික්‍රමතුංග සහ ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුළු බොහෝ ඝාතන පිටුපස මේ කියන ටි්‍රපොලි කල්ලිය සිටි බව ප්‍රසිද්ධ රහසකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වාර්තා තුළ මේ කල්ලියේ මිනීමරු සම්බන්ධතා ජාලය, ඔවුන් භාවිත කළ දුරකථන සංවාද සම්බන්ධතා හරහා පවා ස්ඵුටකොට තිබේ. එහෙත්, රාජපක්ෂලාගේ ආණ්ඩුවලින් තබා, සිරිසේන-වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුවෙන් පවා, ඒ කිසිවෙකු නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් කිරීමේ සැබෑ උත්සාහයක් නොගැනුණි. ‘උන් ඔක්කොම යාළුවො, මල්ලී’ යැයි රන්ජන් රාමනායක කී කතාව, අපේ රටේ දේශපාලනික අපරාධ මෙහෙයැවූ රාජ්‍ය ත්‍රස්තවාදය අරභයා සියයට සීයක්ම ඇත්තයි. සත්තයි.

2018 යම් දවසක “රට අස්ථාවර කොට රාජපක්ෂලා බලයට ගෙන ඒම පහසු කරවීම සඳහා, හමුදා බුද්ධි අංශ ප්‍රධානියෙකු වශයෙන් කලක් සිටි සුරේෂ් සලේ සහ ඉස්ලාමීය-රාජ්‍ය සංවිධානයට අනුබද්ධ ‘ජාතික තවුහිද් ජමාත්’ බෝම්බකරුවන් පිරිසක් අතර හමුවක්” පිල්ලෙයාන්ගේ ඉල්ලීම පරිදි තමා සංවිධානය කළ බව, අසාද් මව්ලානා නමැත්තා චැනල් 4 අනාවරණය යටතේ දැන් කියා සිටී. අසාද් මව්ලානා යනු, කලක් පිල්ලෙයාන්ගේ ලේකම්වරයෙකි. පිල්ලෙයාන් යනු, මඩකලපුව මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීමේ අපරාධයට අවුරුදු පහක් හිරේ සිට, තාක්ෂණික කරුණු මත අධිකරණයෙන් නිදහස ලැබූ කෙනෙකි.

ගෝඨාභය බලයට පත් වූ සැණින් ඉහත කී සුරේෂ් සලේ, තමාගේ හමුදා බුද්ධි අංශ ප්‍රධානී තනතුරට ගෝඨාභය විසින් පත්කරගනු ලැබීය. ඒ අතරේ ගෝඨාභය තවත් දෙයක් කෙළේය. රාජපක්ෂලාට සම්බන්ධ විවිධ අපරාධ සහ පාස්කු ප්‍රහාරය ගැන අලගියතැන් මුලගියතැන් සොයමින් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ශානී අබේසේකර වහාම ගාල්ලට මාරු කෙළේය. බුද්ධිමත් පාඨක අවධානයට යොමු කළ යුතු වැදගත් කාරණය මෙයයි: ශානී අබේසේකරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ගෝඨාභය රාජපක්ෂ විසින් ඉවත් කරනු ලබන්නේ, ගෝඨාභය රාපක්ෂ සිය අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය පත්කිරීමටත් කලිනි. අලුතෙන් පත්වෙන ජනාධිපතිවරයෙකුට වඩා වැදගත් වන්නේ කුමක්ද? තමාගේ අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය වහා පත්කර ගැනීමද, පොලිස් නිලධාරියෙකු වහා මාරු කර හැරීමද? ගෝඨාභය රාජපක්ෂට වැදගත් වුණේ සහ හදිසිය තිබුණේ ශානි අබේසේකරව වහා මාරු කර හැරීමයි. දැන් මේ දෙක එකට තබා බලන්න: චැනල් 4 අනාවරණයෙන් මේ වන විට සැකකරුවෙකැයි හඳුන්වා ඇති සුරේෂ් සලේ, රටේ ඉහළම බුද්ධි තනතුරට ගෝඨාභය විසින් පත්කිරීම සහ සුරේෂ් සලේ ඇතුළු පාස්කු සැකකරුවන් පිළිබඳ විමර්ශන මෙහෙයවමින් සිටි ශානි අබේසේකරව ගෝඨාභය විසින් වහා මාරු කර යැවීම, එක විට සිදු වූ හුදු අහම්බයක් පමණක්ද?

ජාත්‍යන්තර පරීක්ෂණයක සහ ජාත්‍යන්තර අධිකරණයක අවශ්‍යතාව

පාස්කු ප්‍රහාරය, මේ දක්වා අප දැක ඇති අවසාන ත්‍රස්තවාදී සංසිද්ධියයි. ඊට පෙර, යුද්ධයට සම්බන්ධ අපරාධ චෝදනාවලට අමතරව, රාජ්‍ය අනුග්‍රහයෙන් කරන ලද පුද්ගල අපරාධ වැලක්ම තිබේ. ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ, ත්‍රිකුණාමලේ සිසුන් 6 දෙනා, කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් ඝාතනය කළ තරුණයන් 11 දෙනා, මුතූර් සමාජ සේවකයන් 17 දෙනා ආදීන්ගේ ඝාතනත්, කීත් නොයාර් සහ පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස් වධහිංසා පැමිණවීමත්, ‘දිවයින’ හිටපු කර්තෘ උපාලි තෙන්නකොන් ඝාතනය කිරීමට තැත් කිරීමත් ආදී කිසිවකට සම්බන්ධ අපරාධකරුවන්, මේ රටේ විමර්ශන සහ අධිකරණ ක්‍රියාදාමයන් තුළින් මේ දක්වා වැරදිකරුවන් කෙරී නැත. එයින් පෙනී යන්නේ, පාලක පංතිය විසින්ම හෝ එහි අනුග්‍රහය ඇතිව හෝ කරන ලද කිසි අපරාධයක් විමර්ශනයකොට අපරාධකරුවන් නීතිය ඉදිරියට පැමිණවීමත්, වින්දිතයන්ට සාධාරණයක් ඉෂ්ට කිරීමත්, ලංකාවේ නීතිය හා සාමය ක්‍රියාදාමය තුළ බලාපොරොත්තු විය හැකි දෙයක් නොවන බවයි.

එසේ තිබියදී, එම අපරාධකරුවන් පිළිබඳ සොයාබැලීම සඳහා දේශපාලනඥයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීම හෝ අපේ ආයතනික රාමුව තුළ ක්‍රියාත්මක වන වෙනත් විනිශ්චයාසනයකින් එය සිදුවෙතැයි සිතීම පවා, අපරාධකරුවන්ට අභයදානය දෙනවාට අමතරව, ඔවුන් අතින් මියගිය අසරණයන්ට කරන සහගහන අපහාසයක්ද වන්නේය. (මේ වන විටත්, එවැනි විමර්ශන කොමිෂන් සභාවක වාර්තාවක් පුස්කන බවත්, මීට කලිනුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කොට ඇති බවත් මතක තියාගන්න).

ඒ නිසා, පාස්කු ප්‍රහාරයේ මහමොළකාර අපරාධකරුවන් සොයාගැනීමත්, ඒ අපරාධයේ වින්දිතයන්ට සාධාරණයක් ඉටු කිරීමත් ජාත්‍යන්තර විමර්ශනයකින් මෙහා සාක්ෂාත් කරගත හැක්කක් නොවේ. එපමණක් නොව, ඒ ජාත්‍යන්තර පරීක්ෂණයේ අවසාන නිගමනයන් අනුව, අපරාධකරුවන්ට දඬුවම් කිරීමත් ජාත්‍යන්තර අධිකරණයකින්ම සිදු කළ යුතුය. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට හෝ (ජනාධිපතිවරයා දැන් කියා ඇති පරිදි) විශ්‍රාමික විනිසුරුවරයෙකුට ඒ කර්තව්‍යය භාර දීම, කිසි දවසක අපරාධයේ සුලමුල සෙවීමට නොව, අපරාධකරුවන්ට තවදුරටත් නිදැල්ලේ විසීමට අවසර සැපයීමක් පමණක්ම වනු ඇත.

ගාමිණී වියන්ගොඩ