පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිකුත්කල වීඩියෝවේ මූලාශ්‍ර ගැන හෙළිදරවුවක්. කාදිනල් ප්‍රවෘත්ති සාකච්චාවක

0
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්

මෙරට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය චැනල් 4 නාළිකාව සකස් කළ මතභේදාත්මක වීඩියෝව එරට වේලාවෙන් ඊයේ රාත්‍රීයේ විකාශය කෙරුණි.

පාස්කු ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් පවතින බව පදනම් කරගනිමින් මෙම වීඩියෝව සකස් කර ඇති අතර එහි ප්‍රධාන මූලාශ්‍රය බවට පත්වී ඇත්තේ මෙරටින් පළා ගොස් විදෙස් රටවල දේශපාලන රැකවරණ පතන පුද්ගලයන් කිහිප දෙනෙකුය.

බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව මෙරට තුළ ප්‍රසිද්ධියට පත්වූයේ ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බව හැඟවෙන මතභේදාත්මක වීඩියෝපට යුද්ධය නිමාවූ සමයේ විකාශය කිරීමත් සමගය.

එම වීඩියෝපටවල ඇතුළත් කරුණු එවක රජය අවස්ථා ගණනාවකදී නිල වශයෙන් ප්‍රතික්ෂේප කළද ඔවුන් දිගින් දිගටම එවැනි චෝදනා රැගත් වීඩියෝ පට විකාශය කර තිබුණි.

එම නාළිකාවේ අලුත්ම මතභේදාත්මක වීඩියෝපටය ඊයේ (05) ප්‍රචාරය කෙරුණි.

එහි ඇතුළත් වූයේ මෙරට පාස්කු ප්‍රහාරය සහ රාජපක්ෂවරුන්ට එරෙහිව එල්ලවී ඇති විවිධ චෝදනා පිළිබඳවය.

මෙම වීඩියෝ පටය මිනිත්තු 50කට ආසන්න කාලයක් පුරා ධාවනය වෙයි.

මෙහි තොරතුරු මූලාශ්‍ර ලෙස යොදාගෙන තිබුණේ‍ සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කර දැන් ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ පතන අසාද් මව්ලානා, ගානියා ෆ්‍රැන්සිස් – සුදුවෑන් චෝදනා සිද්ධිය  අතරතුර රටින් පළාගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී නිශාන්ත සිල්වා කන්දප්පා,  සුදුකොඩි නඩුවේ සාක්ෂිකාරිනියක වූ මාධ්‍යවේදිනි ෆෙඩ්රිකා ජෑන්ස්, ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ සොයුරු ලාල් වික්‍රමතුංග, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අම්බිකා සද්ගුණනාදන්, හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරී සරත් කෝන්ගහගේ සහ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් යන අයවය.

කලක් පිල්ලෙයාන්ගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ, දැන් ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ පතන අසාද් මව්ලානා මෙවර ඔවුන්ගේ වීඩියෝපටයේ ප්‍රධාන මූලාශ්‍රය වී තිබේ.

මෙරට හිටපු හමුදා බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සහ තවුහිද් ජමාත් සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පැවති හමුවකදී රාජපක්ෂවරුන් යළි බලයට ගෙනඒම සඳහා රට තුළ අනාරක්ෂිත තත්ත්වයක් ඇතිකිරීමට යෝජනා වූ බවට ප්‍රකාශයක් ඔහු එහිදී සිදුකර ඇත.

මෙම අනාවරණය සිදුකළ අසාද් මවුලානා මෙරට තුළ රුපියල් ලක්ෂ 1,000 කට අධික මුදල් ගනුදෙනුවලට සම්බන්ධව සිට විදේශයකට පළා ගිය පුද්ගලයකු බව ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කෙරුණි.

පාස්කු ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් පැවති බව කියාපෑම සඳහා චැනල් 4 වීඩියෝව මෙරට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රකාශයක්ද ලබාගෙන තිබුණි.

චැනල් 4 වීඩියෝව මීට අදාළව තවත් මූලාශ්‍රයක් ලෙස යොදාගෙන තිබුනේ ගානියා ෆ්‍රැන්සිස් සුදුවෑන් චෝදනා සිද්ධිය අතරතුර රටින් පළා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ නිශාන්ත සිල්වා කන්දප්පායි.

රටින් පළා ගොස් සැඟව සිටි ඔහු ප්‍රසිද්ධ මාධ්‍යයක් ඉදිරියට පැමිණි පළමු වතාව මෙය වෙයි.

පාස්කු ප්‍රහාරයට අමතරව රාජපක්ෂවරුන්ට එරෙහි විවිධ චෝදනා පිළිබඳ වාර්තා කිරීමටද මෙම වීඩියෝවේ සැලකිය යුතු කාලයක් වැය කර තිබේ.

සුදුකොඩි නඩුවේ සාක්ෂිකාරිනියක වූ මාධ්‍යවේදිනි ෆෙඩ්රිකා ජෑන්ස් සහ ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ සොයුරු ලාල් වික්‍රමතුංග යන අය උපුටා දක්වමින් ඔවුන් ලසන්ත ඝාතනය ගැන සැක මතු කර තිබුණි.

මේ අතර චැනල් 4 නාළිකාව වෙනුවෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තා වැඩසටහන නිෂ්පාදනය කළ බේස්මන්ට් ෆිල්ම්ස් ආයතනයේ බෙන් ඩි පෙයාර් විසින් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා වෙත ඉකුත් අගෝස්තු 07 වනදා අදාළ වැඩසටහනට තොරතුරු ලබාදුන් අය එල්ල කරන චෝදනා 04ක් යොමුකර තිබුණි.

එම ප්‍රශ්නාවලියට මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අගෝස්තු 09 වනදා පිළිතුරු ලිපියක් යොමු කරමින් එම චෝදනා කරුණු සහිතව ප්‍රතික්ෂේප කර ඇති අතර චැනල් 4 වීඩියෝවේ ද ඒ බව සඳහන් කොට තිබේ.

එහි ප්‍රධාන වශයෙන්ම විමසා තිබුනේ 2018 වසරේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධවූ තවුහිද් ජමාත් සාමාජිකයන් සමග සාකච්ඡාවක් පැවැත්වීද යන්න සහ එම හමුව අවසානයේ රටේ බල පෙරළියක් සඳහා අස්ථාවර වාතාවරණයක් රාජපක්ෂවරුන් අපේක්ෂා කරන බව පැවසුවේද යන්නය.

අදාළ චෝදනා මුළුමනින්ම අසත්‍ය බවත්, තවුහිද් ජමාත් සාමාජිකයන් හමුවී යැයි කියන කාලවකවානුවේ තමා මැලේසියාවේ රැඳී සිටි අතර පාස්කු ප්‍රහාරය වන සමයේ තමා ඉන්දියාවේ පුහුණු වැඩසටහනකට සහභාගීවෙමින් සිටි බව මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිය පිළිතුරෙන් පෙන්වා දී තිබේ.

2016 ඔක්තෝබර් මස රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ලෙස මැලේසියාවට ගිය තමන් යළි 2017 දෙසැම්බර් මස දින 6ක කාලයකට පමණක් මෙරටට පැමිණි බවත් නැවතත් දිවයිනට පැමිණියේ 2018 දෙසැම්බර් 23 වනදා වන අතර චෝදනා එල්ල කරන හමුව පැවති බව කියන කාලවකවානුවේ මෙරට රැඳී නොසිටි බවත් ඔහු සඳහන් කරයි.

ඒ, බව අදාළ රටවල රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගෙන් තහවුරු කරගත හැකි බව ඔහු වැඩිදුරටත් පෙන්වාදී ඇත.

ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කිරීමකින් තොරව සිය කීර්ති නාමයට කැළලක් වන ආකාරයේ කරුණු ඇතුළත් අදාළ වාර්තා වැඩසටහන විකාශය කළහොත් බ්‍රිතාන්‍යය ඇතුළු අධිකරණ බලසීමාවන්හි නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹෙන බවද මේජර් ජෙනරාල් සුරේෂ් සලේ බෙන් ඩි පෙයාර් වෙත යැවූ ලිපියේ දැක්වෙයි.

එමෙන්ම බේස්මන්ට් ෆිල්ම්ස් ආයතනය එවූ ලිපියට සිය නීතිඥ පසන් වීරසිංහ මහතා විසින් ඉදිරියේදී වඩාත් විස්තරාත්මක ප්‍රතිචාරයක් ඉදිරිපත් කරනු ඇති බවත් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා දන්වා තිබේ.

 

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් ඉල්ලයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්

 

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව විකාශය කළ වීඩියෝව මගින් අනාවරණය කරන කරුණු සම්බන්ධයෙන් විමර්ශනයට ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් පත්කළ යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

කොළඹ අගරදගුරු මැදුරේ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් උන්වහන්සේ සඳහන් කළේ, අදාළ වීඩියෝවේ අන්තර්ගත කරුණු තමන් පිළිගන්නේ එවැනි විමර්ශනයකින් පසුව පමණක් බවයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,

“අපි චැනල් 4 නාළිකාවට කෘතඥතාව පළ කරනවා. අපිට වැදගත් නාලිකාවේ පැරණි හැසිරීම නොවෙයි. අපේ ප්‍රශ්නය ගැන ඉදිරිපත් කළ කරුණුයි වැදගත්. ඉදිරියට කඩිනමින් කළ යුතු වන්නේ. චැනල් 4 ඉදිරිපත් කළ කරුණු සහ පුද්ගලයන් පිළිබඳ අපක්ෂපාතී විනිවිදභාවයෙන් යුත් විමර්ශනයක් අරඹන්න. විමර්ශනය කළ යුත්තේ ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක්. විමර්ශනය ස්වාධීනව සිදුකිරීමට. විමර්ශනයට ලක්වන සියලු නිලධාරීන්ගේ සේවය අත්හිටුවන්න. රජය අපේ යෝජනා ක්‍රියාත්මක කරයි කියලා බලාපොරොත්තු වෙනවා.”