පකිස්තානයේ Battagram ප්‍රදේශයේහි පොළොවේ සිට අඩි 1,200ක් උඩින් කේබල් කාරයක පිරිසක් හිරවෙයි (Video)

0
පකිස්තානයේ Battagram

පකිස්තානයේ Battagram ප්‍රදේශයේ කඳු දෙකක් අතර සවිකර තිබූ කේබලයක සිරවී ඇති කේබල් රථයේ සිටින පිරිස බේරාගැනීමේ මෙහෙයුම අතිදුෂ්කර වී ඇති බව වාර්තා වෙයි.

පොළොවේ සිට අඩි 1,200ක් පමණ ඉහළ අහසේ එම රථය කේබලයක එල්ලෙමින් තිබෙන අතර එහි සිසුන් 6 දෙනෙක් සහ තවත් දෙදෙනෙක් සිටිති.

පවතින අධික සුළඟ හේතුවෙන් එම රථය ආසන්නයට ළඟාවීම ඉතා අපහසුවී ඇති බව බලධාරීන් පවසයි.

අවාසනාවන්ත කරුණක්ද මේ වනවිට අනාවරණය වී තිබේ. ඒ එම පිරිස අතර සිටින සිසුන්ගෙන් 16 හැවිරිදි සිසුවෙක් හෘද රෝගීයෙක් බවය.

ඔහු පැය දෙකක් තිස්සේ සිහිමුර්ජා වී සිටින බව මාධ්‍ය වාර්තා පවසයි.

පාකිස්තාන හමුදා හෙලිකොප්ටර් යානා කිහිපයක් මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා යොදවා ඇති අතර කොමාන්ඩෝ භටයෙක් අනතුරට ලක්වී ඇති පිරිස වෙත ළඟාවීමට දෙවරක් උත්සාහ දැරීය.

නමුත් කාලගුණය ඊට හරස්විය. මේ වනවිට කේබල් රථය තනි කම්බියක් ආධාරයෙන් එල්ලෙමින් ඇති බව සඳහන් වෙයි.

අද එරට වේලාවෙන් උදෑසන 7ට පමණ පාසල් යමින් සිටි ළමුන් පිරිසක් සහ අනෙක් වැඩිහිටියන් දෙදෙනා මෙම අනතුරට ලක්විය.

ළමයින්ගේ වයස අවුරුදු 10ත් 16ත් අතර වෙයි.

ඔවුන්ට අවශ්‍ය ආහාර සහ ජලය සැපයීමට මුදාගැනීමේ මෙහෙයුමේ නිරත භටයෝ සමත් වූහ.

මේ අතර මේ වනවිට එම ප්‍රදේශයට විශාල පිරිසක් එක්වී ඇති බවත් දරුවන්ගේ ඥාතීන් සිය දරුවන් බේරාගන්නා ලෙස බලධාරීන්ට ආයාචනා කරන බවත් වාර්තා වෙයි.