එංගලන්තයේ අධිකරණ ඉතිහාසය අළුත්කරමින් දිවි ඇති තෙක් හිරගෙට ගිය “යක්ෂනියකගේ” කතාව.

0
ලෙට්බි ට එරෙහි නඩු තීන්දුව
අද එංගලන්තයේ සියළුම මාධ්ය වල වැඩිම වෙලාවක් වෙන් කල සහ මෙරට ජනතාව විශාල පිරිසක් අවධානයෙන් බලා සිටි එංගලන්තයේ අධිකරණ ඉතිහාසය අළුත්කල නඩු තීන්දුවක් බ්රිතාන්යයේ මැන්චෙස්ටර් මහාධිකරණය මගින් ප්රකාශයට පත් කෙරුනා. ඒ එංගලන්තයේ මෑත ඉතිහාසයේ කෲරතම ළමා ඝාතකයා වූ ලුසී ලෙට්බි ට එරෙහි නඩු තීන්දුවයි.
ලුසී ලෙට්බි වයස අවුරුදු 33 ක් වූ හෙදියක්. ඇය 2018 වසරේදී අත්තඩංගුවට පත්වන විට එංගලන්තයේ චෙස්ටර් හී රෝහලක නොමේරූ ළදරු ඒකකයට අනියුක්තව සේවය කරමින් සිටියා. අධිකරණයේදී හෙලිදරව් වූ කාරණා අනුව ඇය 2012 දී එනම් වයස අවුරුදු 22 දී එම රෝහලේ හෙදියක් ලෙස සේවය ආරම්භ කර ඇති අතර දැඩි සත්කාර ඒකක හෙදියක් ලෙසද ලුසී ලෙට්බි පුහුණුව ලබා තිබුනා.
ලුසී ලෙට්බිට එරෙහිව නැගුනු චොදනාව උනේ ඇය සේවය කරමින් සිටි චෙස්ටර් රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ඇය භාරයේ සිටි ළදරුවන් 7 දෙනෙකු ඝාතනය කිරීමයි. ඊට අමතරව තවත් ළදරුවන් 6 දෙනෙකු ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන්ද ඇයට එරෙහිව චෝදනා ගොනුකර තිබුනා. 2015 වසරේ ජුනි සිට 2016 ජුනි දක්වා මාස 13 කට අධික කාලයක් පුරා ඇය මෙම කුරිරු ඝාතනයන් සිදුකර තිබුනා.
ඇය ළදරුවන් ඝාතනය සඳහා ක්රම කිහිපයක් උපයෝගී කරගෙන තිබූ අතර සමහරෙකුගේ පෙනහළු තුලට වාතය එන්නත් කර ඝාතනය කර තිබූ අතර දරුවන් දෙදෙනෙකුට ඉන්සියුලින් එන්නත් කර තිබුනා. තවත් දරුවන් කිහිප දෙනෙකුට ඇය විසින් බලහත්කාරයෙන් කිරි පොවා ඝාතනය කර තිබුනා. ඇයගේ ඝාතන උත්සාහයෙන් දරුවන් 6 දෙනෙකු ගැලවුනද ඇයගේ ක්රියාවන් හේතුවෙන් අදටත් එම දරුවන් සමහර සෞඛ්ය සංකූලතා වලට මුහුණ දෙන බවට අධිකරණයේදී හෙලිදරව් උනා.
ලුසී ලෙට්බිට එරෙහිව පොලිස් පරීක්ෂණ ආරම්භ වන්නේ 2017 වසරේදී. එහි ප්රතිඵලයක් ලෙස 2018 වසරේදී ඇයව අත්තඩංගුවට පත් වෙනවා. එංගලන්තයේ රහස් පොලිසිය විසින් ඇයට විරුද්ධව පිටු 32,000 යුත් සාක්ෂි වාර්තාවක් සකස් කල අතර පුද්ගලයන් 2000 කගෙන් පමණ සාක්ෂි රැස්කර තිබුනා. සියළු පොලිස් පරික්ෂණ අවසානයේදී ලුසී ලෙට්බි අද අධිකරණය හමුවේ සියළු චෝදනාවන්ට වැරදිකරු උනා.
ලුසී ලෙට්බිගේ නඩු විභාගය හේතු කිහිපයක් නිසා එංගලන්තයේ අධිකරණ ඉතිහාසයට එකතු උනා. මාස 10ක් පුරාවට විභාග වූ ලුසී ලෙට්බිට එරෙහි නඩුව බ්රිතාන්යය ඉතිහාසයේ විභාග වූ දීර්ඝතම මිනීමැරුම් නඩුව බවට පත් උනා. එමෙන්ම ඇයට එරෙහිව අධිකරණය ලබාදුන් නඩු තීන්දුව හා විනිසුරු වාචිකය එක්සත් රාජධානියේ සියළුම රූපවාහිනී නාලිකා පාහේ සජීවීව විකාශනය කෙරුනා.
තමන්ට එරෙහිව නඩු තීන්දුවට මුහුණ දීමට ලුසී ලෙට්බි අද අධිකරණයට පැමිණ සිටියේ නෑ. වීඩියෝ තාක්ෂණය ඔස්සේ සජීවීව අධිකරණය හා සම්බන්ධ වීම පවා ඇය ප්රතික්ෂේප කර තිබුනා. ඇය අධිකරණයට නොපැමිණිම ඉතා අසාධාරණ බවයි බොහෝ දෙනාගේ මතය වුනේ. ලෙට්බි අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා ඇයගේ ක්රියාවන් හේතුවෙන් අගතියටපත් දෙමාපියන්ගේ වාචිකයන් හා ඇයට එරෙහිව විනිසුරුවරයා විසින් කියවූ චෝදනාවන්ට සවන්දීමට ඇයට අවස්ථාව ලැබුනේ නෑ.
ලුසී ලෙට්බි අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීමට තීරණය කිරීම හේතුවෙන්ම අනාගතයේදී විත්තිකරුවන්ට තීන්දුව දෙන දිනයේදී අධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතුම යන්නට මෙරට නීති වෙනස් කරන බව බ්රිතාන්යය අග්රාමාත්ය රිෂි සුනක් අද ප්රකාශ කලා. දැනට මෙරට පවතින නීති අනුව අත්තඩංගුවේ පසුවන විත්තිකරුවන්ට අධිකරණය ඉදිරියේ පෙනී සිටීම ප්රතික්ෂේප කල හැකි අතර අනාගතයේදී ඔවුන්ට අනිවාර්යයෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට සිදුවනු ඇති.
සියළු කාරණා සලකා බැලීමෙන් අණතුරුව නඩු තීන්දුව කියවූ විනිසුරුවරයා කියා සිටියේ ඇයට එංගලන්ත නීතියේ උපරිම දඬුවම වූ ජීවිතාන්තය දක්වි සිරදඬුවම් නියම කරන බවයි.
සාමාන්යයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වන වැරදිකරුවෙකුට නිශ්චිත කාලයකට පසුව නිදහස්වීම සඳහා ඇපීල් කිරීමට අවස්ථාව ලැබුනද විනිසුරුවරයා ප්රකාශ කලේ ඇය සිදුකල කෲර ඝාතනයන් හේතුවෙන් ලූසි ලෙට්බිට ඇපීල් කිරීමේ අවස්ථාව ලබා නොදෙන බවත් දැනට 33 හැවිරිදි වියෙහි පසුවන ඇය කෙදිනක හෝ මියයන තුරුම සිරදඬුවම් විඳිය යුතු බවත්ය.
එක්සත් රාජධානියේ මේ වන තෙක් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇත්තේ කාන්තාවන් තිදෙනෙකුට පමණයි. ඒ අතරින් එක් කාන්තාවක් 2002 වසරේදී මියගොස් ඇති අතර ලුසී ලෙට්බි එක්සත් රාජධානියේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ හතර වන කාන්තාව බවට පත්වෙනවා.
අධිකරණය අමතමින් විනිසුරුවරයා ප්රකාශ කලේ මෙම කෲර බිලිඳු ඝාතනයන්ට හේතුව තමන් නොදන්නා බවත් එය ප්රකාශ කිරීමද තමන්ගේ වගකීමක් නොවන බවයි. විත්තිකාරිය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අධිකරණ තීන්දුව හා අගතියට පත් දෙමව්පියන්ගේ වාචිකයන් මුද්රණය කර ඇයට ලැබීමට සලස්වන ලෙසද විනිසුරුවරයා විසින් නියෝග කලා.
ලුසී ලෙට්බිගේ අපරාධයට සම්බන්ධ මාධ්ය ආවරණයේ වැදගත්ම කොටස වන්නේ මෙම අධිකරණ ක්රියාමාර්ගය පුරාවටම මෙන්ම අදටත් බ්රිතාන්යයේ කිසිදු මාධ්ය ආයතනයක් අගතියට පත් පාරශවයේ අනන්යතාවයනි හෙලිකිරීමට කටයුතු කර තිබුනේ නෑ. ඝාතනය කල සහ ඝාතනය කිරීමට උත්සාහ කල සියළු දරුවන් ඉංග්රීසි අක්ෂර වලින් හඳුන්වමින් මාධ්ය වාර්තා කල අතර බිලිඳුන්ගේ දෙමව්පියන් පිලිබඳව කිසිදු තොරතුරක් සමාජයට අනාවරණය නොකිරීමට බ්රිතාන්යයේ සියළුම මාධ්ය පියවර ගෙන තිබුනා
.
ඉතා සුවිශේෂී නඩු තීන්දුවක් සේ සලකා ලුසී ලෙට්බිට එරෙහි නඩු තීන්දුව එක්සත් රාජධානියේ සියළුම මාධ්ය පාහේ සජීවීව විකාශනය කිරීමට කටයුතු කලද විපතට පත්වූ දරුවන්ගේ සහ එම දෙමව්පියන්ගේ නම් විනිසුරුවරයා විසින් කියවන සෑම අවස්ථාවකදීම සජීවී විකාශනය නතර කිරීමට තරම් බ්රිතාන්යය මාධ්ය සැලකිලිමත් උනා
තිලාන් ජයසේකර. එංගලන්තයේ සිට