චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයට ගොඩ බහින්න ඉන්දියාව සහ රුසියාව ‘පුංචි තරගයක’

0
දක්ෂිණ ධ්‍රැවයට

ඉන්දියාවේ චන්ද්‍රයාන්-3මෙහෙයුම, චන්ද්‍රයාගේ එතරම් ගවේෂණය නොකළ දක්ෂිණ ධ්‍රැවයට සමීප වෙමින් පවතින අතර අගෝස්තු 23 වන දින ලෑන්ඩරය සහ රෝවරය සඳ මතට ගොඩ බැස්ස වීමට ඉලක්කර තිබේ.

බ්‍රහස්පතින්දා, ලෑන්ඩරය චන්ද්‍රයා සමීපයට රැගෙන ගිය අභ්‍යවකාශ මොඩියුලයෙන් සාර්ථකව වෙන් වීමත් සමග, මෙහෙයුමේ අවසාන අදියර ආරම්භ විය.

කෙසේවෙතත්, ඉන්දියාවේ චන්ද්‍රයාන්-3, රුසියානු නව චන්ද්‍ර මෙහෙයුම හමුවේ පරාජයට පත් වුවහොත් චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයට යානයක් ගොඩ බස්සවන පළමු රට බවට පත්වීමට ඉන්දියාවට නොහැකි වනු ඇත.

පසුගිය සතියේ අභ්‍යාවකාශ ගත කරන ලද රුසියාවේ Luna-25 යානය, තවත් දින කිහිපයකින් චන්ද්‍රයා මතට ගොඩබස්සනු ඇතැයි, අපේක්ෂා කෙරේ.

දක්ෂිණ ධ්‍රැවයට

රුසියාව සෝවියට් සංගමයේ පාර්ශවකරුවෙකුව සිටි සමයෙන්, අඩ සියවසකට ආසන්න කාලයකට පසු ක්‍රියාත්මක කරන පළමු චන්ද්‍ර මෙහෙයුම මෙය වන අතර, – සැලසුම් කර ඇති පරිදි රුසියනු අභ්‍යාවකාශ යානය අගෝස්තු 21 හෝ 22 වැනිදා චන්ද්‍රයා මත මෘදු ගොඩබෑමක් කිරීමට සමත් වුවහොත්, ඉන්දියාවේ චන්ද්‍රයාන්-3 මෙහෙයුමට දෙවැනි ස්ථානය ලබා ගනිමින් සැනසීමට සිදුවනු ඇත.

කෙසේවෙතත්, ඉන්දියාව තවදුරටත් එක්සත් ජනපදය, පැරණි සෝවියට් සංගමය සහ චීනයට පසු සඳ මත මෘදු ගොඩබෑමක් කරන සිව්වන රට බවට පත්වීමට නියමිතය.

බ්‍රහස්පතින්දා, ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ඒජන්සිය (ISRO) පැවසුවේ සිකුරාදා සවස 4 ට සැලසුම් කළ පරිදි “අභ්‍යවකාශ යානය මන්දගාමී” කරමින් ගොඩබෑමේ මොඩියුලය තරමක් පහළ කක්ෂයකට බැස්සීමට නියමිත බවයි. ගොඩබෑමේ මොඩියුලය අගෝස්තු 23 වන දින සඳ මතට ගොඩබෑම සඳහා අවසන් ගමන ආරම්භ කරනු ඇත.

රුසියාව අගෝස්තු 10 වැනිදා Luna-25 යානය අභ්‍යවකාශ ගත කරනු ලැබුවේ වඩා බලවත් Soyuz රොකට්ටුවක් මගිනි. එය පෘථිවි ගුරුත්වාකර්ෂණයෙන් මිදී බදාදා චන්ද්‍ර කක්ෂයට ළඟා වූ බව රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය Roscosmos නිවේදනය කළේය.

චන්ද්‍රයාන් -3 ජූලි 14 වන දින අභ්‍යවකාශ ගත කරන ලද නමුත් අගෝස්තු 5 වැනිදා චන්ද්‍ර කක්ෂයට ඇතුළු වීමට පෙර යානය පෘථිවිය වටා කිහිප වතාවක් ගමන් කළේය.

යානය ගොඩබෑම සඳහා සූදානම් වෙමින් මේවන විට සඳ වටා කක්ෂගත වී ඇත.

චන්ද්‍රයා ඉලක්ක කරගත් මේ මෙහෙයුම් දෙක බොහෝ දෙනා විස්තර කරන්නේ “පුංචි අභ්‍යවකාශ තරගයක්” ලෙසයි.

කෙසේ වෙතත්, ඉන්දීය අභ්‍යාවකාශ ඒජන්සිය බීබීසීයට පැවසුවේ එය තරගයක් නොවන අතර ජාතීන් දෙකට සඳ මත නව ‘හමුවීමේ ස්ථානයක්’ ඇති වනු ඇති බවයි.

“1960 ගණන්වල ආරම්භක පළමු දිනයේ සිටම ඉන්දීය අභ්‍යාවකාශ ඒජන්සිය කිසිම තරගයකට සහභාගී වෙලා නැහැ,”ඉන්දීය අභ්‍යාවකාශ ඒජන්සියේ ප්‍රකාශකයෙක් පැවසීය.

“අපි මෙහෙයුම සැලසුම් කළේ අභ්‍යවකාශ යානයේ සූදානම සහ සඳෙහි දුරස්ථ ප්‍රදේශයට ළඟා වීමට තියෙන තාක්ෂණික ඉඩකඩ මතයි. ලූනා-25 මෙහෙයුමත් බොහෝ කලකට පෙර සැලසුම් කළ මෙහෙයුමක්. ඔවුන්ටත් සලකා බලන්න තාක්ෂණික කරුණු කිහිපයක් තියෙන්න ඇති නමුත් අපි ඒක හරියටම දන්නේ නැහැ, “ඔහු පැවසීය.

ඓතිහාසික ඉන්දීය සඳ ගවේෂණ යානයෙන් සඳ මතුපිට නව ඡායාරූප එවයි

පූලි 01 වැනිදා චන්ද්‍ර කක්ෂයට ඇතුළු වූ චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානය විසින් ගන්නා ලද චන්ද්‍රයාගේ පළමු ඡායාරූප ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය විසින් නිකුත් කරනු ලැබ තිබේ.

අභ්‍යවකාශ යානය චන්ද්‍රයාට සමීප වීමත් සමග චන්ද්‍ර පෘෂ්ඨයේ ඇති ආවාට විශාලව දිස්වන අයුරු ඡායාරූප වලින් දැක්වේ.

චන්ද්‍රයාන් – 3 හි ලෑන්ඩරය සහ රෝවරය අගෝස්තු 23 වැනිදා චන්ද්‍ර පෘෂ්ඨයට ළඟා වීමට නියමිතය.

එය සාර්ථක වුවහොත්, චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය ආසන්නව “මෘදු ගොඩබෑමක්” සිදුකරන පළමු රට ඉන්දියාව වනු ඇත.

එමෙන්ම එක්සත් ජනපදය, පැරණි සෝවියට් සංගමය සහ චීනයට පසුව සඳ මත මෘදු ගොඩබෑමක් සාර්ථක කර ගන්නා සිව්වන රට බවට ද ඉන්දියාව පත්වීමට නියමිතය.

අභ්‍යවකාශ යානය දින 10ක පමණ කාලයක් පෘථිවිය වටා ගමන් කිරීමෙන් පසු එය පසුගිය අඟහරුවාදා චන්ද්‍ර කක්ෂය දෙසට යවා සෙනසුරාදා සාර්ථක ලෙස චන්ද්‍ර කක්ෂයට ඇතුළු කර තිබේ.

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ඒජන්සිය (Isro) ප්‍රකාශ කළේ චන්ද්‍රයාන් -3 හොඳ “සෞඛ්‍ය සම්පන්න” බව සියලු පරීක්‍ෂණවලින් පෙන්නුම් කළ බවයි.

දක්ෂිණ ධ්‍රැවයට

ඉන්දියාව ඓතිහාසික චන්ද්‍ර මෙහෙයුම දියත් කරයි

ඉන්දියාව (ජූලි 14 දා) ඔවුන්ගේ තෙවැනි චන්ද්‍ර මෙහෙයුම ආරම්භ කළේය. ඔවුන් ඉලක්ක කරන්නේ, එතරම් ගවේෂණයට ලක්ව නැති චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයට ගොඩබසින පළමුවැන්නන් වීම ය.

ලෑන්ඩරයක් හා රෝවරයකින් සමන්විත චන්ද්‍රයාන්-3, (ජූලි 14 දා) පැය 14:35ට ශ්‍රීහරිකෝටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට දියත් කෙරුණි.

ඉන්දියානු චන්ද්‍ර ගවේෂණ වැඩසටහනෙහි තෙවැන්න වන චන්ද්‍රයාන්-3, එහි පෙර සඳ මෙහෙයුම්හි සාර්ථකත්වය මත ගොඩනැගෙනු ඇතැ යි අපේක්ෂා කෙරෙයි.

මෙම මෙහෙයුම සිදුවන්නේ 2008 දී දියත්වූ පළමු ඉන්දියානු චන්ද්‍ර මෙහෙයුමෙන් වසර 13කට පසුව ය. එම පළමු මෙහෙයුම “හඳ මතුපිට ජලය හොයපු පළමු හා වඩාත්ම සවිස්තරාත්මක මෙහෙයුම වගේම, දවල් කාලයේ දී හඳට වායුගෝලයක් තියෙබවත් තහවුරුකර ගත්තා,” චන්ද්‍රයාන්-1හි ව්‍යාපෘති අධ්‍යක්ෂ මයිල්ස්වාමි අන්නදුරෙයි ප්‍රකාශ කළේ ය.

ඕබිටරයක්, ලෑන්ඩරයක් හා රෝවරයකින් සමන්විත වූ චන්ද්‍රයාන්-2, 2019 ජූලි මාසයේ දී දියත් කෙරුණු නමුත් එය අත්කර ගත්තේ අසම්පූර්ණ සාර්ථකත්වයකි. අදටත් එහි ඕබිටරය සඳ අධ්‍යයන කරමින් එය වටා භ්‍රමණයවන නමුදු, මෘදු ගොඩබෑමක් සිදුකිරීමට අපොහොසත්වූ ලෑන්ඩරය හා රෝවරය ගොඩබෑමේ දී විනාශවිය. එසේ සිදුවූයේ “අවසන් මොහොතේ තිරිංග පද්ධතියේ ඇතිවූ දෝෂයකින්” වග අන්නදුරෙයි පැහැදිලි කළේ ය.

පසුගිය අනතුරෙහි දත්ත සාවධානව අධ්‍යයනයකර, එහි වූ දෝෂයන් නිවැරදි කිරීම සඳහා සමාකරණ අභ්‍යාසයන් සිදුකර ඇතැ යි, ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (Indian Space Research Organisation/ ISRO) ප්‍රධානී ස්‍රීධර පානිකර් සෝමනාත් ප්‍රකාශකර ඇත.

කිලෝග්‍රෑම් 3900ක බරින් යුතු, ඉන්දියානු රු. බිලියන 6.1ක වියදමකින් තනනු ලැබූ චන්ද්‍රයාන්-3ට ඇත්තේ ද එහි පූර්වගාමියාට තිබූ අරමුණුම – එනම්, සඳ මත මෘදු ගොඩබෑමක් සිදුකිරීමබව ද ඔහු සඳහන් කළේ ය.

දක්ෂිණ ධ්‍රැවයට

කිලෝග්‍රෑම් 1500ක් පමණ බර ලෑන්ඩරය (මෙය ISROහි නිර්මාතෘගේ නමින් ‘වික්‍රම්’ ලෙස නම්කොට ඇත) විසින් කිලෝග්‍රෑම් 26ක් බර රෝවරය ප්‍රවාහනය කරයි. එය ‘ප්‍රාග්යාන්’ එනම් සංස්කෘතයෙන් ‘ඥානය’ ලෙස නම්කර තිබේ.

සිකුරාදා දියත් කිරීමෙන් පසු, චන්ද්‍ර කක්‍ෂයට ඇතුළුවීම සඳහා යානාවට දින 15ක් 20ක් පමණ ගතවනු ඇත. අනතුරුව පැමිණෙන සති කීපයේ දී, විද්‍යාඥයින් විසින් එයට මෘදු ගොඩබෑමක් සිදුකළ හැකිවන පරිදි රොකට්ටුවේ වේගය ක්‍රමයෙන් අඩු කරනු ඇත.

සියල්ල සැලැස්මට අනුව සිදුවුවහොත්, රෝද හයේ රෝවරය ලෑන්ඩරයෙන් පිටවී චන්ද්‍රයා මතුපිට ඇති පාෂාණ සහ ආවාට වටා සැරිසරමින්, විශ්ලේෂණය කිරීමට පෘථිවියට යැවීම සඳහා තීරණාත්මක දත්ත සහ ඡායාරූප රැස්කරනු ඇත.

“රෝවරය ගෙනියනවා උපකරණ පහක්. ඒවයින් හඳ මතුපිට භෞතික ලක්ෂණ ගැනත්, මතුපිටට ආසන්න වායුගෝලය ගැනත්, මතුපිටට යටින් සිදුවෙන භූ කාරක ක්‍රියාකාරකම් ගැනත් තොරතුරු හොයන්න අවධානය යොමු කරනවා. අපි අලුතින් දෙයක් හොයාගනිවි කියලා මම බලාපොරොත්තු වෙනවා,” සෝමනාත් මිරර් නව් පුවත් සේවය වෙත පවසා තිබුණි.

සඳෙහි දක්ෂිණ ධ්‍රැවය තවමත් බොහෝකොටම අධ්‍යයනයට ලක්ව නැත – එහි සඳේ අඳුරු ප්‍රදේශය යටතේ පවතින භූමි ප්‍රමාණය උත්තර ධ්‍රැවයට සාපේක්ෂව විශාලබැවින්, ස්ථිරව සෙවනැල්ල යටතේ පවතින ප්‍රදේශවල ජලය තිබීමේ හැකියාවක් පවතිනබව පැවසෙයි.

2008 දී සඳේ දක්ෂිණ ධ්‍රැවයට ආසන්නයෙන් ජලය සොයාගත් පළමු යානාව වූයේ චන්ද්‍රයාන්-1 ය.

“අපට මේ ප්‍රදේශය ගැන විද්‍යාත්මක වශයෙන් වැඩි උනන්දුවක් තියෙන්නේ, සමකාසන්න ප්‍රදේශයට – ඒක ගොඩබෑම් සඳහා ආරක්‍ෂිත යි – මේ වන විට ප්‍රවේශවෙලා ඒ සම්බන්ධයෙන් දත්ත ගොඩක් තියෙන නිසා,” සෝමනාත් පැවසීය.

“අපට වැදගත් විද්‍යාත්මක සොයාගැනීමක් කරන්න ඕන නම්, අපට දක්ෂිණ ධ්‍රැවය වගේ අලුත් ප්‍රදේශවලට යන්න සිද්ධවෙනවා. නමුත් ඒවායේ දී ගොඩබෑමේ අවදානම වැඩියි.”

චන්ද්‍රයාන්-2 විනාශවීමේ දත්ත “එකතුකර, විශ්ලේෂණයකර” ඇතිබව පවසන සෝමනාත්, නවතම මෙහෙයුමේ සියලු දෝෂ නිවැරදි කිරීමට එය උපකාරවූබව ද ප්‍රකාශ කළේ ය.

“චන්ද්‍රයාන්-2 ඕබිටර් එකෙන්, අපට ගොඩබහින්න ඕන ස්ථානයේ හයි රෙසලූෂන් පින්තූර එවලා තියෙනවා. ඒ දත්ත හොඳින් අධ්‍යයනය කරලා තියෙනවා. ඉතින් අපි දන්නවා එතන කොච්චර ආවාට, කොච්චර පර්වත තියෙනවා ද කියලා. ඒ නිසා අපි වඩාත් හොඳ අවස්ථාවක් ලබාගන්න බලාගෙන ගොඩබැසීමේ කලාපය පුළුල් කරලා තියෙනවා.”

චන්ද්‍ර දිනයක ආරම්භය (චන්ද්‍රයාගේ එක් දිනක් පෘථිවි දින 14කට සමාන ය) සමග සමපාතවීම සඳහා යානය ගොඩබෑම “අතිශය නිරවද්‍ය” විය යුතුබව අන්නදුරෙයි පවසයි. මන්ද, ලෑන්ඩරයේ සහ රෝවරයේ බැටරි ආරෝපණයවීමට හා ක්‍රියා කිරීමට සූර්යාලෝකය අවශ්‍ය ය.

දක්ෂිණ ධ්‍රැවයට

2000 ගණන්වල මුල්භාගයේ දී සඳ මෙහෙයුමක් පිළිබඳව සිතා බැලුනේ, ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ වර්ධනය ඇතිවූ එකල බොහෝ තාක්ෂණ උපාධිධාරීන්ට මෘදුකාංග කර්මාන්තයට බැඳීමට අවශ්‍යවූ හෙයින් ඔවුන් ආකර්ෂණයකර ගත හැකි උද්යෝගීමත් ව්‍යාපෘතියක් ලෙසබව අන්නදුරෙයි පවසයි.

“ඒකට චන්ද්‍රයාන්-1 සාර්ථකත්වය උදව්වුණා. අභ්‍යවකාශ වැඩසටහන ඉන්දියාවේ අභිමානය පිළිබඳ යමක්බවට පත්වුණා. දැන් ISRO එකට වැඩ කරන එක හරිම ගෞරවාන්විත දෙයක් විදියට යි සැලකෙන්නේ.”

නමුත් අන්නදුරෙයි පවසන පරිදි ඉන්දියාවේ අභ්‍යවකාශ වැඩසටහනෙහි පුළුල් ඉලක්කය වන්නේ, “විද්‍යාවත්, තාක්‍ෂණයත්, මානව වර්ගයාගේ අනාගතයත් ආවරණය කිරීම” යි.

සඳ වෙත ‘ඇහැ ගහගෙන’ සිටින එකම රට ඉන්දියාව නොවේ – ග්‍රහලොව ගැන ඇති උනන්දුව ගෝලීය වශයෙන් වැඩෙමින් පවතියි. විද්‍යාඥයන් පවසන්නේ, ගැඹුරු අභ්‍යවකාශය වෙත දොරටුවක් ලෙස බොහෝවිට සැළකෙන මේ ග්‍රහලොව ගැන අවබෝධකර ගැනීමට තවත් බොහෝ දේ ඇතිබව යි.

“අපට හඳ ප්‍රත්‍යන්ත මුරපොළක්, ගැඹුරු අභ්‍යවකාශයට දොරටුවක් විදියට සංවර්ධනය කරන්න ඕන නම්, එහෙ තියෙන අමුද්‍රව්‍යවලින් අපට ගොඩනගන්න පුළුවන් මොන විදියේ වාසස්ථානයක් ද, එහෙ ඉන්න අපේ මිනිස්සුන්ට ඕනේ කරන දේවල් ප්‍රවාහනය කරන්නේ කොහොමද කියන දේවල් හොයා බලන්න තවත් ගොඩක් ගවේෂණ සිද්ධ කරන්න අවශ්‍ය යි,” අන්නදුරෙයි පවසයි.

“ඒ නිසා, ඉන්දියාවේ ගවේෂණවල අවසාන ඉලක්කය තමයි, අපෙන් කිලෝමීටර 360,000ක් ඈත අභ්‍යවකාශයේ තියෙන හඳ යම් දවසක දී පෘථිවියේ විස්තීරණ මහාද්වීපයක් වෙච්ච දවසක අපි නිෂ්ක්‍රීය නරඹන්නෙකුබවට පත්වෙනවා වෙනුවට, අපට ඒ මහද්වීපයේ සක්‍රීය, ආරක්‍ෂිත ජීවයක් තියෙනවා. අපි ඒ වෙනුවෙන් දිගටම වැඩ කරන්න ඕන.”

ඉඳින්, චන්ද්‍රයාන්-3 මෙහෙයුම සාර්ථකවීම එම දිශාවට තබන වැදගත් පියවරක් වනු ඇත.

BBC