නාගොඩ මහ රෝහලේ ගුටිබැට හුවමාරුවක්

0
නාගොඩ මහ රෝහලේ

කළුතර නාගොඩ මහ රෝහලේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී ඊයේ (16) පස්වරුවේ ගුටිබැට හුවමාරුවක් සිදුවී තිබේ.

ඒ, රෝගීන් බැලීමට පැමිණි පිරිසක් සහ රෝහලේ පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් අතරය.

යකඩ පොලු, ඉදල් භාවිත කරමින් මෙම ගැටුම ඇතිවී තිබූ අතර තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු රෝහල්ගත කර තිබේ.

රෝගීන් බැලීමට පැමිණි අයෙක් සහ පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරියෙක් එලෙස රෝහල්ගත කර ඇති බවද පැවසෙයි.

නේවාසික රෝගියෙකුගේ සුවදුක් බැලීම සඳහා පුද්ගලයින් 05 දෙනෙකු පැමිණ ඇති අතර ඔවුන් ඇතුළුවීමට යෑමේදී ඇතිවූ කතාබහක් මෙලෙස ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වී ඇත.

පුද්ගලයින් 15කට ආසන්න පිරිසක් ගැටුමට සම්බන්ධවී ඇති බවද වාර්තා වෙයි.

සිද්ධියෙන් තුවාල ලැබූ දෙදෙනාම නාගොඩ මහ රෝහලේ එකම වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

පහරකෑමෙන් තවත් කිහිප දෙනෙකු සුළු තුවාල ලබා තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.