අන්වර් උල් හක් කකාර් – ලෝකයේම අවධානයට ලක්වෙමින් පාකිස්ථානයේ අනාගතය සුරතට ගත් භාරකාර අගමැති

0
අන්වර් උල් හක් කකාර්

පාකිස්තානයේ නව පාලකයා වන ‘අන්වර් උල් හක් කකාර්’ වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ.

හිටපු අගමැති ෂෙබාස් ෂරීෆ් සහ විපක්ෂ නායක රාජා රයිස් අහ්මඩ් අතර ඇතිකරගත් එකඟතාවකට අනුව ඉදිරි මැතිවරණය තෙක් පාකිස්තානය මෙහෙයවීමට භාරකාර අගමැතිවරයකු ලෙස ‘අන්වර් උල් හක්’ පත්කරගනු ලැබිණි.

ඔහු වර්ෂ 1971දී Killa Saifullah දිස්ත්‍රික්කයේ Muslim Bagh හිදී උපත ලැබීය.

ප්‍රාථමික අධ්‍යාපනයෙන් අනතුරුව ඔහු Kohat ප්‍රාන්තය වෙත පැමිණෙන්නේ එහි ජනප්‍රිය අධ්‍යාපන ආයතනයක් වන Cadet College හි අධ්‍යාපනය හැදෑරීම සඳහාය.

කෙසේ වෙතත් මෙම කාලවකවානුවේදී අන්වර් උල් හක්ගේ පියාගේ අභාවය සිදුවීම හේතුවෙන් නොසිතූ ලෙස ඔහුට Quetta වෙත නැවත පැමිණීමට සිදුවිය.

අන්වර් උල් හක් දේශපාලන විද්‍යාව සහ සමාජ විද්‍යාව පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය ලබාගන්නේ ඉන් අනතුරුවය.

දේශපාලනයට පිවිසීමට පෙර ඔහු ගුරුවරයෙකි.

සිය වෘත්තීය ජීවිතය ගුරුවරයෙකු ලෙස අන්වර් උල් හක් අරඹන්නේ Quetta හි පාසලක ඉගැන්වීම් සිදුකරමිනි.

අන්වර් උල් හක් භාෂා ප්‍රවීණත්වයද විශිෂ්ඨ බව දේශපාලන විචාරකයින් පවසයි.

ඔවුන් පවසන්නේ පැෂ්තෝ, උර්දු, පර්සියානු, ඉංග්‍රීසි, බලුචි සහ බ්‍රාවි භාෂාවන් භාවිතයේදී අන්වර් උල් හක් ප්‍රවීණයෙකු බවය.

දේශපාලනයට අමතරව අන්වර් උල් හක් එරට ප්‍රමුඛ විශ්වවිද්‍යාල කිහිපයක දේශන පවත්වන්නෙක් ලෙසටද ජනප්‍රිය ව සිටී.

අන්වර් උල් හක් 2008 වසරේදී මැතිවරණයට ඉදිරිපත් වුවද ඉන් පරාජයට පත්විය.

කෙසේ වෙතත් 2018 වසරේදී අන්වර් උල් හක් Balochistan ප්‍රාන්තයෙන් ස්වාධීන සෙනෙට් සභිකයෙකු ලෙස තේරී පත්විය.

ඔහු BAP (Balochistan Awami Party) පක්ෂයේ ආරම්භක සාමාජිකයෙක් ද විය.

එසේම ඔහු එම පක්ෂයේ ප්‍රකාශකවරයා ලෙසද සුවිශේෂී මෙහෙවරක් ඉටුකළේය.

පාකිස්තානයේ දේශපාලනය තුළ එතරම් ජනප්‍රිය නොවූවද අන්වර් සෙනෙට් සභාව තුළද කැපීපෙනෙන ධුර රැසක් හොබවා ඇති බවට ඔහුගේ දේශපාලන ඉතිහාසයේ ලියැවී තිබේ.

ඒ අතරින් සෙනෙට් සභාවේ ස්ථාපිත කමිටු රැසක ඔහු බහුවිධ භූමිකාවන් රැසක් පෝෂණය කළේය.

ව්‍යාපාර උපදේශක කමිටුව, විදේශ කටයුතු සහ විද්‍යා හා තාක්ෂණ කමිටුව, මුදල් හා ආදායම් කමිටුව ඔහු සාමාජිකත්වය දැරූ කමිටු වෙයි.

එසේම විදෙස්ගත පාකිස්තානුවන් සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ සෙනෙට් කමිටුවේ සභාපති ලෙස කටයුතු කළේ ද අන්වර් උල් හක් ය.

මෙලෙස දේශපාලනයේ ප්‍රවීණයෙකු වන අන්වර් උල් හක් පාකිස්තානයේ නිදහස සමරණ අද (14) එරට භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

එසේම ඔහු සෙනෙට් සභාවෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ද අද (14) සෙනෙට් සභාවේ සභාපති Sadiq Sanjrani වෙත ලැබීමට කටයුතු යොදා තිබුණි.

ඒ අනුව Balochistan ප්‍රාන්තය නියෝජනය කරමින් පත්වූ ස්වාධීන මන්ත්‍රිවරයකුව සිටි අන්වර් උල් හක්, මීළඟ මැතිවරණය දක්වා පාකිස්තාන භාරකාර රජය මෙහෙයවනු ඇත.

පාකිස්තාන පාර්ලිමේන්තුව පසුගිය බදාදා විසුරුවා හරිනු ලැබූ අතර, එතැන් පටන් දින 90ක් තුළ එරට මහ මැතිවරණය පැවැත්විය යුතු වේ.