ජනපති රනිල් වික්‍රමසිංහ යටතේ ශ්‍රී ලංකාවේ සිදුවන මානව හිමිකම් කඩවීම් ගැන ජාත්‍යන්තර ප්‍රජාව මුනිවත රකිනවාද?

0
මානව හිමිකම්

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය හෝ කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව සෑම විටකම සිය දැඩි අවධානය යොමු කොට තිබේ. ඒ අනුව ජිනීවා මානව හිමිකම් සැසිවාරවලදී ශ්‍රී ලංකාව මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී විවිධ යෝජනාවලි ඉදිරිපත් කිරීමට බටහිර රටවල් පියවර ගනු ලැබීය.

විශේෂයෙන්ම පශ්චාත් යුද සමයේ රාජපක්ෂ පාලනය තුළ දී මෙරට තානාපතිවරුන් ද ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ සහ නිවේදන නිකුත් කරනු ලැබීම අඛණ්ඩව දක්නට ලැබුණි.

කෙසේ වෙතත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලයට පත්වීමෙන් පසු මෙරට මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් දිගින් දිගටම පවතින රජයට චෝදනා එල්ල වුවත්, ජාත්‍යන්තර ප්‍රජාව හෝ දේශීය මානව හිමිකම් සංවිධාන තම මුනිවත රකිමින් සිටින බවට ඇතැම් ක්‍රියාකාරීහු දිගින් දිගටම චෝදනා නගති. ඒ අනුව මේ සම්බන්ධයෙන් අපි විවිධ පාර්ශව නියෝජනය කරන ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුගේම අදහස් වීමසීමු.

“දෙස් විදෙස් මානව හිමිකම් සංවිධාන ඉදලා තියෙන්නේ රනිල්ගේ න්‍යාය පත්‍රයේ”

දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් විශාල වශයෙන් කතා කළ පුද්ගලයින් හා සංවිධාන සිට ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ න්‍යාය පත්‍රයේ බව බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් නීතිඥ නුවන් බෝපගේ පැවසීය.

මානව හිමිකම්

මානව හිමිකම් යන මාතෘකාව බොහෝ විට විදේශ රාජ්‍යයන් යොදා ගන්නේ අනෙක් රටවල් වල ආර්ථික සහ දේශපාලනික තත්ත්වයන්ට මැදිහත් වීමට බවත් එය මේ වන විට ශ්‍රී ලංකාව තුළ කිසිදු අපහසුවකින් තොරව සිදුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

“මේ වෙනකොට වෙලා තියෙන කාරණය තමයි ඉතාමත් පහසුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ඉන්දියාව සහ චීනය පවා මේ ආර්ථික අර්බුදය මැද ඉතා පහසුවෙන් අපේ රටේ ආර්ථිකයට හා දේශපාලනයට මැදිහත් වෙමින් තියෙනවා.”

“කලින් ජාතික සම්පත් ඒගොල්ලන්ට මිලදී ගන්න, රාජ්‍ය දේපල තමුන්ගේ යටතට ගන්න ලොකු පරිශ්‍රමයක් දරන්න සිද්ධ වුණානම් දැන් ඉතාම අඩු පරිශ්‍රමයක් යටතේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව යටතේ ඕනෑම දෙයක් කර ගන්න පුළුවන් තත්ත්වයට පත්වෙලා තියෙනවා.”

“කලින් පාලකයින්ට තිබ්බනම් යම් කිසි ආකාරයේ කේවල් කිරීමේ හැකියාවක් ඒ සියල්ල දැන් නැතිවෙලා තියෙනවා. ඉස්සර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ඕන විදිහට කොන්දේසි දාගන්න හම්බ වුනේ නෑ. දැන් IMF එකේ කොන්දේසි ඉටුකරන්න රටේ ඉන්න මිනිස්සු පවා මරණ තත්ත්වයට රනිල් වික්‍රමසිංහලා පත්වෙලා තියෙනවා. මේ තත්ත්වය ජාත්‍යන්තර දේශපාලනයේදී විශේෂයෙන් භූ දේශපාලනයේ දී විශේෂයෙන් අධිරාජ්‍යවාදී රටවල් වලට හොඳ තත්ත්වයක්.”

“ඒ තත්ත්වය අනෙක් පැත්තට බලපානවා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලට. මොකද මේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වලින් බහුතරයක් සම්බන්ධ වෙලා තියෙනවා මේ අධිරාජ්‍යවාදීන්ගේ න්‍යාය පත්‍රයන්ට. ඒ නිසා තමයි ඒ අය මේවට මැදිහත් වෙන්නේ නැත්තේ. යුරෝපා සංගමය ගත්තම ඔවුන්ගේ න්‍යාය පත්‍රය කෙලින්ම සම්බන්ධයි අපේ වගේ රටවල රාජ්‍ය දේපල, ජනතා දේපල කොල්ල කන්න. ඒක පහසුවෙන් කරන්න පුළුවන් වෙද්දී මානව හිමිකම් වගේ දේවල් ගැන කතා කරලා තේරුමක් නැහැ. අමෙරිකාව ගත්තත් එහෙමයි. “

“ඉතාමත් පැහැදිලි ජාත්‍යන්තර සංවිධාන මානව හිමිකම් කියන දේ පාවිච්චි කලේ රටවල් වල අභ්‍යන්තරයට මැදිහත් වෙන්න. අප වැනි රටක අභ්‍යන්තරයට මැදිහත් වෙන්න පහසු තත්ත්වයක් තිබියදී මානව හිමිකම් ගැන කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ.”

“ඊළඟට බැලුවම ලංකාවේ හිටිය ඇතැම් රාජ්‍ය නොවන මානව හිමිකම් සංවිධානවල හිටපු අය අද රජයේ මාධ්‍ය ආයතනවල සභාපතිවරු වෙලා. සමහර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල ප්‍රධානින් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ තනතුරු අරන් ඉන්නවා.”

“එතකොට පැහැදිලිව පේන දෙයක් තමයි ජාත්‍යන්තරයේ පමණක් නොවේ ලංකාවේ ඉදගෙන මානව හිමිකම් කඩවීම් ගැන විකුණන් කාපු ගොඩක් අය ඉදලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහගේ න්‍යාය පත්‍රයේ කියලා” නීතිඥ නුවන් බෝපගේ සඳහන් කළේ ය.

මෙරට පිහිටි විදේශ තානාපති කාර්යාල ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් පෙර දැක්වූ උනන්දුව දැන් නොදක්වනවාද යන්න සම්බන්ධව බීබීසි සිංහල සේවය නගන ලද පැනයට නීතිඥ නුවන් බෝපගේ ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

“ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලි චංග් පසුගිය කාලයේ සිදුකළ සමහර ප්‍රකාශ ගත්තොත් රටේ අභ්‍යන්තර දේශපාලනයට මැදිහත් වන ප්‍රකාශ. “

“චීන තානාපති කාර්යාලය පවා පහුගිය කාලයේ ඇතැම් ප්‍රකාශ කළා රටේ ස්වෛරීභාවයට හානි සිද්ධ වෙන. “

“ඊට පස්සේ ඉන්දියාවේ විදේශ කටයුතු ඇමති සහ ආරක්ෂක ඇමති ලංකාව සම්බන්ධයෙන් අතපොවන ප්‍රකාශ නිකුත් කළා පසුගිය කාලයේ දී.”

“ක්‍රියාවලිය පැහැදිලියි, රටේ තියෙන ආර්ථික අර්බුදය යොදාගෙන ඔවුන් තමුන්ගේ න්‍යාය පත්‍ර හරියට ඉෂ්ට කරගෙන ඉන්නවා. “

“අමෙරිකානු තානාපතිනිය තුලින් මේ බව විශේෂයෙන් දකින්න ලැබෙනවා. මොකද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කෙලින්ම බද්ධ වෙලා තියෙනවා අමෙරිකානු න්‍යාය පත්‍රයන් වලට. “

“රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි ඉෂ්ඨ කරන්න දරන වෙහෙස මහන්සියත් එක්ක අමෙරිකානු තානාපතිනියට මානව හිමිකම් හෝ වෙනත් දේවල් නෙමෙයි වැදගත්, ඒ යන මාර්ගයට සහය දැක්වීමයි වැදගත්.” ඔහු පැවසීය.

“ජාත්‍යන්තරයෙන්ම ජනාධිපතිට අවස්ථාවක් ලබා දීලා “

රටේ ගැටලු විසඳා ගැනීමට වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට කාලය ලබා දිය යුතු බවට ජාත්‍යන්තර ප්‍රජාව තුළ යම් අදහසක් ඇති බවට තමන් සිතනා බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් නිතිඥ අම්බිකා සත්කුනනාදන් බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් පැවසීය.

ඇය සඳහන් කළේ මෙයට හේතු විය හැක්කේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරට තුළ ක්‍රියාකාරිව පැවති නිසාත්, ජනාධිපතිවරයා 13 වැනි සංශෝධන ගැනත්, සත්‍යය සහ සංහිදියා කොමිසම ගැනත්, වාර්ගික අර්බුධය සම්බන්ධ සමහර ගැටලු විසදීම සම්බන්ධව ගැනත් ප්‍රකාශ කරමින් සිටින නිසාත් ය.මෙහිදී වැඩිදුරටත් කරුණු සඳහන් කළ නීතිඥ අම්බිකා සත්කුනනාදන්,

“පොදුවේ ගත්තම ජාත්‍යන්තර ප්‍රජාව හිතනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජයට අවස්ථාවක් දෙන්න ඕන කියලා. ලංකාව තුළ මේ වෙන කොට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක වන නිසා අවස්ථාවක් ලබා දෙන්න ඕන කියන මතය තියෙනවා..”

“ඒ වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සත්‍යය සහ සංහිඳියා කොමිසම, 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කරනවා.”

“මානව හිමිකම් පැත්ත ගැන බැලුවොත් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඉදිරිපත් කරපු වෙලාවේ යුරෝපා සංගමය කියා සිටියේ එය ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන බවත්, සහ එය GSP+ පවත්වා ගැනීම සඳහා රජයට විසින් ඉටු කළ යුතු එක් වගකීමක් උල්ලංඝණය කළ හැකි බවත්ය.”

“ඒ අවස්ථාවේදී අනෙක් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන රජයට ප්‍රකාශ කර සිටියා මේ කෙටුම්පත මුලික මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකුල නැහැයි කියලා. දේශීය මෙන්ම විදේශීය මානව හිමිකම් සංවිධාන වලින් එල්ල වූ විරෝධතාවය නිසා ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඉවත් කර ගනු ලැබුවා ඒ වෙලාවේදී.”

“ඊට පසුව බැලුවොත් විශ්ව කාලාන්තර සමාලෝචනයේ දී මානව හිමිකම් කවුන්සිලයේදී විදේශ රටවල් නිවේදන නිකුත් කළා ලංකාවේ මානව හිමිකම් ගැටලු සම්බන්ධව. නමුත් දැන් ඒගොල්ලන්ගේ මතයක් තියෙනවා මේගොල්ලන්ට (ලංකාවට) අවස්ථාව ලබා දෙන්න ඕන කියලා.”

“ජනාධිපතිතුමා සත්‍යය සහ සංහිදියා කොමිසම ගේනවා කිව්ව නිසා ටිකක් බලන් ඉන්න ඕන කියන මතය ජාත්‍යන්තර ප්‍රජාව තුළ තියෙනවා මේ වෙලාවේ.”

” පහුගිය දවස්වල අපි දැක්කා සිවිල් සමාජයේ ඉන්න අය රජයේ තනතුරු බාරගන්නවා. 2002 වසරේ බිහිවූ රනිල් වික්‍රමසිංහ රජය සමයේ දී වගේම යහපාලන රජය සමයේදී මේ දේ සිද්ධ වුණා. මෙම කාල වලදී දකුණේ සිවිල් සමාජ සංවිධාන යුද්ධය සම්බන්ධ වැදගත් කාරණා සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීම හෝ ඇතැම් මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් රජයන් විවේචනය කළේ නැහැ.”

“දකුණේ සංවිධාන ඇතැම් සංක්‍රාන්ති යුක්ති ප්‍රශ්න සම්බන්ධයෙන් රජය විවේචනය නොකළ නිසා යහපාලන සමයේදී උතුරු සහ නැගෙනහිර ක්‍රියාත්මක වූ මානව හිමිකම් සංවිධාන වලට කොළඹ පිහිටි සංවිධාන ගැන තිබුණු විශ්වාසය බිඳ වැටුණා. ඒ තත්ත්වය තවම තියෙනවා. “

“සත්‍යය සහ සංහිදියා කොමිසම ගැන උතුරු සහ නැගෙනහිර පිහිටි මානව හිමිකම් සංවිධාන පසුගිය මාසයේදී නිවේදන හතරක් නිකුත් කළා, නමුත් දකුණේ සිවිල් සමාජ සංවිධාන කිසිම නිවේදනයක් නිකුත් නොකිරීමෙන්ම පෙර කියූ කතාව තහවුරු වනවා.”

“සත්‍යය සහ සංහිදියා කොමිසම පිහිටුවීමට අදාළ නීති මෙතෙක් හදලා නැහැ. ඒ සම්බන්ධයෙන් වන අන්තර්කාලීන කාර්යාලය ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළේ පිහිටලා තියෙනවා.”

“මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ගත්තම පොලිස් දෙපාර්තමේන්තුව ඇතුලේ ව්‍යුහාත්මක ගැටලු තිබෙනවා. හිංසනය, දුෂණය, දේශපාලනීකරණය වීම යන සියල්ලම ඒ තුළ තිබෙනවා. අපි කිසිම දියුණුවක් දැකලා නැහැ.”

“මේවට අමතරව ආණ්ඩුව අලුත් අලුත් නීති හදනවා. විකාශන අධිකාරී පනත, ත්‍රස්ත විරෝධී පනත ඇතුළු නව නීති ගේනවා. ඒකට හේතුව කුමක්ද කියා බැලුවොත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කරන්න, රාජ්‍ය නොවන සංවිධාන පාලනය කරන්න, මාධ්‍ය පාලනය කරන්නයි.”

“මේ ආණ්ඩුව සුදු වෑන් භාවිතා කරන්නේ නැහැ. ඔවුන් භාවිත කරන්නේ නීතියයි. ඔවුන් මානව හිමිකම් සීමා කිරීමට නීතිය ආයුධයක් ලෙස භාවිත කරනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීම පිළිබඳ විවේචන තිබෙන නිසා, ඔවුන් දැන් ICCPR වැඩිපුර භාවිතා කිරීමට පටන් ගෙන තියෙනවා. වත්මන් රජයේ උපක්‍රම වෙනස්.” මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් නීතිඥ අම්බිකා සත්කුනනාදන් පැවසුවාය.

මානව හිමිකම්

ආණ්ඩුව විවේචනය කළොත් සිදුවන දේ

දැනට තියෙන තත්ත්වය යටතේ කවුරුන් හෝ ආණ්ඩුවට විවේචන එල්ල කරන්නේ නම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හෝ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) පනත පාවිච්චියට අරන් ඔවුන් සිරගත කරන බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවණමුත්තු බීබීසි සිංහල සේවයට සඳහන් කළේය.

“ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවේ දී යෝජනා කිහිපයක් තිබෙනවා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ගැන. ඒගොල්ලන් කියන්නේ ඔයගොල්ලන් මේක කරන්න පොරොන්දු වෙලා තියෙනවා නමුත් ඔබලා එය කරලා නෑ කියලයි.”

“GSP+ පහසුකම තවත් වසරක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට ලබාදෙනවා. ඒගොල්ලන් කියන්නේ ලංකාවේ මානව හිමිකම් තත්ත්වය තවමත් හොඳ නැහැ. නමුත් දෙනවා කියලා.”

“එළඹෙන සැප්තැම්බර් මාසයේ ජිනීවා මානව හිමිකම් සැසියේ දී ලංකාව සම්බන්ධයෙන් දැනට තියෙන යෝජනාව අවසන් වෙන්න යනවා. එහෙනම් තවත් යෝජනාවක් ගේන්න යනවද කියලා අපි බලන්න ඕන. දැනට තියෙන යෝජනවා ගැන සැප්තැම්බර් මාසයේදී ලිඛිත වාර්තාවක් දෙන්න තිබෙන්නේ.”

“නව යෝජනාවක් එළඹෙන සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් වුනේ නැත්නම් ලංකාව ජාත්‍යන්තර මානව හිමිකම් ගැන ජාත්‍යන්තර න්‍යාය පත්‍රයෙන් ඉවත් වෙනවා.”

“පුද්ගලිකව ඒ අය ආණ්ඩුවට කියනවා මේක හරි ගස්සන්න කියලා. ඒ වගේම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අපි කිව්වා ජීනීවා වලදී ඒක අහෝසි කරලා නව පනතක් ගේනවා කියලා. නමුත් ගෙනාපු කෙටුම්පත නම් ඉතාමත් දුර්වලයි.”

“ඉතින් මම හිතන්නේ යුරෝපා සංගමය ආණ්ඩුවට පෞද්ගලිකව දැනුම් දීලා තියනවා ඕක ගේනවා නම් GSP+ දෙන්නේ නැහැ කියලා.”

“දැනට තියෙන තත්ත්වය යටතේ කවුරුන් හෝ ආණ්ඩුවට විවේචනය කරනවා නම්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හෝ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) පනත පාවිච්චියට අරන් ඒ අයව හිරේට දානවා.”

“දැන් තියෙන තත්ත්වය යටතේ ප්‍රමුඛතාවය දීලා තියනවා මේ ආර්ථිකය ගැන.”

“ඒ ප්‍රමුඛතාවය යටතේ සිවිල් සමාජයට තිබුණු සාධනීය විවේචනය කරන්න, උද්ඝෝෂණ කරන්න තිබු ඉඩ කඩ ඔක්කොම නැති කරලා තියෙනවා.” ඔහු සඳහන් කළේය.

මානව හිමිකම්

“විශේෂයෙන් බටහිර රටවලට රාජපක්ෂ සම්බන්ධයෙන් නොතිබුණ පොඩි මෘදුබවක් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් තියෙනවා”

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට වැඩි වශයෙන් දක්නට ඇත්තේ ආර්ථික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු වී නොමැති බවත් නීතිය සහ සමාජ භාරය ආයතනයේ වැඩසහන් අධ්‍යක්ෂ සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන සඳුන් තුඩුගල බීබීසි සිංහල සේවයට පැවසුවේ ය.

වත්මන් රජය යටතේ සිදුවන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවිධාන පෙර මෙන් හඬ නොනගන්නේ ජාත්‍යන්තර ප්‍රජාවට අවශ්‍ය ආර්ථික වැඩපිළිවෙල වත්මන් ජනාධිපතිවරයාගේ ආණ්ඩුව යටතේ රටතුළ සිදුවන නිසා බව ඔහු සඳහන් කරයි.

“ලෝකයේ මානව හිමිකම් සම්බන්ධයෙන් ගෝලීය සංවාදය යම් අන්දමකින් දේශපාලනිකයි. එතකොට විශේෂයෙන් බටහිර රටවල් මානව හිමිකම් කියන මාතෘකාව භාවිත කරන්නේ ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ඇතුලෙයි.”

“එතකොට අපි දකින දෙයක් තමයි මානව හිමිකම් ගැන ප්‍රධාන වශයෙන් කතා කරන බටහිර රටවල් ඊශ්‍රායලය විසින් පලස්තීනයට එරෙහිව කටයුතු කරන ආකාරය ගැන නිශ්ශබ්දව සිටිනවා. මොකද එතන එයාලගේ දේශපාලන වුවමනාකම් තියෙනවා.”

“මේ වෙලාවේදී ලංකාව ඇතුලේ කාරණාවේදී එකක් තමයි ඒගොල්ලන්ගේ දේශපාලන සහ ආර්ථික වුමනාව කියන දේ.”

“විශේෂයෙන්ම මේ වෙලාවේදී රනිල් වික්‍රමසිංහ රජය ක්‍රියාත්මක කරමින් සිටින ආර්ථික වැඩපිළිවල බටහිර රටවල් විසින් ඉල්ලා සිටිය ආර්ථික වැඩපිලිවලයි. “

“බටහිර රටවල පාලනය යටතේ තියෙන අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි ආයතන විසින් ඉල්ලා තිබු ආර්ථික වැඩපිළිවෙල තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ක්‍රියාත්මක කර තිබෙන්නේ.”

“ඉතින් යම් විදිහකින් බටහිර රටවල් හිතනවා ඇති මේ ආර්ථික වැඩපිළිවලට බාධා නොකොළ යුතුයි කියන මතයක ඉන්න.”

“විශේෂයෙන් බටහිර රටවලට රාජපක්ෂ සම්බන්ධයෙන් නොතිබුණ පොඩි මෘදුබවක් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් තියෙනවා.”

“පැහැදිලිවම බටහිර රටවල් කියලා තියෙනවා රාජපක්ෂ පාලන සමයේදී ලංකාවට චීනයෙන් එල්ලවූ බලපෑම බොහොම ත්‍රීව ලෙස තිබුනානේ, ඒක නැවත ඇති නොවීමට වගබලා ගැනීමත් වැදගත්. මොකද බටහිර රටවල් හිතනවා රනිල් වික්‍රමසිංහ යටතේ තමන්ගේ දේශපාලනික සහ ආර්ථික වුමනාවන් රාජපක්ෂ රජයට වඩා හොදින් කරගන්න පුළුවන් කියලා.ඉතින් ඒ නිසා මේ වෙලාවේදී රනිල් වික්‍රමසිංහගේ පාලන සමයේදී සිදුවන මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් පෙර තිබුණාට වඩා අඩුවෙන් කතා කරන්නේ. ඒ තරම් සැරට කතා කරන්නේ නැහැ. ඉතින් ඒක මේ වෙලාවේ පැහැදිලිවම පෙනෙන්න තියෙන දෙයක්. ඒ හැර ලංකාවේ මානව හිමිකම් කඩවීමේ අඩුවක් පෙන්න නැහැ.”

“ලෝකයේ මානව හිමිකම් ගැන කතා කරද්දී කොටස් දෙකක් තිබෙනවා. එකක් සිවිල් හා දේශපාලනික මානව හිමිකම් කියලා සහ අනෙක් එක ආර්ථික අයිතිවාසිකම් කියන එකයි.”

“නමුත් ලංකාවේ වැඩි වශයෙන්ම කතා වුනේ සිවිල් හා දේශපාලනික මානව හිමිකම් කියන දේ ගැනයි. ආර්ථිකය සම්බන්ධයෙන් මානව හිමිකම් සම්බන්ධයෙන් සාකච්ජාවක් තිබුනෙම නැහැ. ආර්ථික මානව හිමිකම් වලට එරෙහිව සිදුවන උල්ලංඝණය කිරීම් ලොකුවට ගන්නේ නැහැ”

“ලංකාවේ මේ වෙද්දී බැලුවොත් පෙන්න තියෙන්නේ ඇත්තෙන්ම උල්ලංඝණය වන්නේ ආර්ථික අයිතිවාසිකම් කියන දෙයයි. වෘත්තීය සමිති අයිතිවාසිකම් වෙන්න පුළුවන්, සේවක අයිතිවාසිකම් වෙන්න පුලුවන්, සේවක අර්ථ සාධකය වගේ ප්‍රශ්න, අධ්‍යාපනය, සෞඛ්‍ය ප්‍රශ්න වගේ ආර්ථික අයිතිවාසිකම් ගොඩක් උල්ලංඝණය වනවා.” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

BBC