සැළසුමකින් තොරව ජලය නිදහස් කිරීම උඩවලව ගොවීන් මේ තත්වයට පත්කලා

0
සැළසුමකින් තොරව ජලය නිදහස් කිරීම

 

උඩවලව ගොවීන් මේ වන විට ගැටලු සහගත තත්ත්වයකට පත්ව ඇත්තේ සැළසුමකින් තොරව ජලය නිදහස් කිරීම හේතුවෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, කෘෂිකාර්මික අංශය නවීකරණය පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදීය.

කෘෂිකාර්මික අංශය නවීකරණය සම්බන්ධයෙන් අදහස් හා යෝජනා විමසීම සඳහා විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ට වැඩිදුරටත් පැවසුවේ, කෘෂි නවීකරණ කාර්යාලය පිහිටුවීම සහ එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙසය.

“කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරලීමට නම්, අප පළමුවෙන්ම කෘෂිකර්මාන්ත සහායක ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. සියලුම භෝග ආවරණය වන පරිදි කෘෂිකර්මාන්ත නවීකරණ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට මට අවශ්‍ය වනවා. සත්ව පාලනය ඊට පසුව එක් කළ හැකියි. සියලු භෝග ආවරණය කරන එය, රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශයෙත් සමන්විත වන්නක්. වී මිළදී ගැනීමේ ක්‍රමවේදය පිළිබද යළි ඇගයීමක් කරන ලෙසත් මුදල් අමාත්‍යංශයෙන් මම අද ඉල්ලා සිටියා.”

“ඔබට යන්ත්‍ර සුත්‍ර අවශ්‍ය වූ විට කවුද ඒවා දෙන්නේ? ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වූ විට, ණය සහන යෝජනා ක්‍රමයක් හරහා කෘෂිකාර්මික උපකරණ ගෙන්වා අපේ කෘෂිකර්මාන්තය නවීකරණය කළ හැකියි. උඩවලවේ ජලය ගැන ඔබ කතා කරනවා. මොකක් ද උඩවලවේ සිද්ධ වුණේ? මාස කිහිපයකට පෙර අප කිසිවෙකුට නොදන්වා ඔබ ගොවිතැන් සඳහා ජලය නිකුත් කළා.” 

“අක්කර 10,000 සිට 12,000 දක්වා වී ගොවිතැනට ජලය නිකුත් කර අනෙකුත් කටයුතු සඳහා ජලය රඳවා ගත යුතු වුවත් ඔබ අක්කර 25,000ක වී වගාවන් සඳහා එය භාවිත කළා. ඒ ගැන මටයි බැනුම් අහන්නට සිදු වුණේ. ඒ විදිහට බැණුම් අහන්න මම දැන ගෙන ඉන්න අවශ්‍යයි ඒ කුමකට ද කියා. ඇත්තටම මේ සැලසුමක් නොමැති නිසා සිදු වූවක්. යම් තැනක කිසිවෙකු තීරණයක් ගෙන එය මුදා හැරියා. ඉතින් ජලය නැහැ කියලා ජනතාව හඬනගන්න පටන් ගත්තා.”

“අපට වේගවත්ව ප්‍රකෘතිමත් වීමට නම් ඒ විදිහට වේගවත් දියුණුවක් ලැබිය හැකි අංශ දෙකක් තිබෙනවා. එකක් සංචාරක කර්මාන්තය. අනෙක කෘෂිකර්මාන්තය. අනෙක් සියල්ලේම අයෝජන ක්‍රියාවට නැංවීමට අවුරුදු 3ක් 4ක් හෝ 5ක් ගත වෙනවා.”