සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට වතුර ගන්න අද කැබිනට් පත්‍රිකාවක්

0
සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට

 

සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය ලබාගැනීම සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව අද (07) යළිත් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිතය.

පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ උඩවලව ජලාශයේ ජලය සීදීයාමත් සමඟ වලව කලාපයේ ගොවියෝ සිය වගා කටයුතු කිරීමට නොහැකිව දැඩි අර්බුදයකට මුහුණ පා සිටිති.

ඊට විසඳුමක් ලෙස සමනල වැව ජලාශයෙන් ජලය ලබාගැනීම කෙරෙහි අවදානය යොමුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව පසුගිය සතියේ දී අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයා පියවර ගත්තේය.

කෙසේවෙතත් එහිදී මෙම යෝජනාවට පක්ෂව සහ විපක්ෂව කරුණු ඉදිරිපත් වී ඇති අතර අදාළ යෝජනාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී ඇති බවද සඳහන්ය.

සමනල වැව ජලාශයෙන් ජලය ලබාදීමට ඇතැම් පාර්ශව සෘජුවම අකමැත්ත පළ කර ඇති බවද වාර්තා වේ.

මෙම තත්ත්වය හමුවේ යළිත් වරක් සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය ලබාගැනීම සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව අද දිනයේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අද පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය රැස්වීමට නියමිතව තිබේ.

සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය ලබාගැනීම සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව යළිත් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙලෙස අදහස් පළ කළේය.

“වලව ගොවීන්ගේ ජල ප්‍රශ්නය විසඳන්න රජයට වගකීමක් තියෙනවා. ඒකෙන් බැහැරවෙන්න බෑ. මොකද ඒ ගොවි ජනතාව ඉතාමත් අමාරුවෙන් තමා මේ වගා කටයුතු කරගෙන ගියේ. දැන් අවසාන අවස්ථාව. කරල් දැකලා අද වේලෙන තත්ත්වයකට පත්වෙලා තියෙනවා. ඒ නිසා ජලය ලබාදීමේ පළවෙනි  ප්‍රමුඛතාවය තමා පානීය ජලය. දෙවැනි ප්‍රමුඛතාවය තමා වගාවට ජලය. තුන්වෙනි ප්‍රමුඛතාවය තමා විදුලිය. දැන් දෙවැනි ප්‍රමුඛතාවය ක්‍රියාත්මක කළ යුතුයි. එක ජල මුරයක් දුන්නොත් මේ තියන තත්ත්වයෙන් 65% – 70%ක් හරි බේරගන්න පුළුවන් වෙයි. විදුලිබල මණ්ඩලය මේකට ප්‍රමුඛතාවය දීලා මැදිහත් වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේක සුළු පටු කාරණයක් නෙමෙයි.”
කෙසේවෙතත් උඩවලව ජලාශයට ජලය නිකුත් නොකිරීම තුළින් ගොවි ජනතාව පත් වන අසීරුතාවට පත්වන අසීරුතාව සම්බන්ධයෙන් අද දිනයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් සිදුකිරිමට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය තීරණය කර තිබේ.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසුවේ, වලව කලාපයේ ගොවීන්ගේ ජල ගැටලුව විසඳීම ආණ්ඩුව දිගින් දිගටම ප්‍රමාද කිරීම හේතුවෙන් අදාළ පැමිණිල්ල සිදුකිරීමට තීරණය කළ බවය.

රජයේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ඉදිරියේ දී ගොවිජන හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකොන් මහතා සඳහන් කළේය.

මේ අතර මෙම ජල ගැටලුව රටේ ආර්ථිකයට සෘජුවම බලපාන කරුණක් බැවින් අධිකරණ පද්ධතියට ඊට මැදිහත් වීමේ හැකියාව පවතින බව ජනාධිපති නීතීඥ මයුර ගුණවංශ මහතා පැවසුවේය.