මෙම පෙත්සම තුළින් ඉදිරිපත් කළ කරුණු පිරික්සීමේදී ඊට පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුව වගකිවයුතු යැයි පෙනී යන හෙයින් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන බවයි අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ.
ඒ අනුව සැප්තැම්බර් මස 27 වනදා මීට අදාළව අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසිද නිකුත් කළා.
අරගල ක්රියාකාරිකයෙකු වන ජනත්.එස්. විතාරණ විසින් ඉදිරිපත් කළ පෙත්සමක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් වසරේ මැයි මස නව වන දා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමියේ ඇතිවූ ගැටුම්කාරී සිද්ධියෙන් අනතුරුව දිවයින පුරා ඇති වූ ප්රචණ්ඩ ක්රියා පාලනය කිරීමට පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අසමත් වූ බවයි.
ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඊට වගකිව යුතු බවට ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් නිර්දේශයක් නිකුත් කර තිබෙන බවත් පෙත්සම්කරු ප්රකාශ කර සිටී.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයේ දී පොලිස්පතිවරයා ඇතුළු මෙම සිද්ධියට වගකිවයුතු සියලු පොලිස් නිලධාරීන් වගඋත්තරකරුවන් ලෙස නම් කරන මෙන් නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් අයැද සිටින්නේ.
ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වගකිවයුතු පොලිස්පතිවරයා ඇතුළු ඊට අදාළ නිලධාරීන්ට එරෙහිව විනය ක්රියාමාර්ග ගන්නා ලෙස ජාතික පොලිස් කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් වැඩිදුර අයැද සිටිනවා.