චීන විදේශ කටයුතු අමාත්‍ය චෙන් ගාන්ග් අතුරුදන්

0

චීන විදේශ කටයුතු අමාත්‍ය චෙන් ගාන්ග්

පසුගිය ජූනි 25 වැනිදා සිට අතුරදන්ව සිටි චීන විදේශ කටයුතු අමාත්‍ය චෙන් ගාන්ග් මහතා ඉවත් කර නැවතත් හිටපු විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා එම අමාත්‍ය ධුරය සඳහා පත් කිරීමට චීන රජය කටයුතු කර ඇත.

චීන විදේශ කටයුතු අමාත්‍ය චෙන් ගාන්ග් මහතා ධුරයෙන් ඉවත් කළත් එසේ ඉවත් කිරීමට චීන රජය පැහැදිලි හේතුවක් ඉදිරිපත් කර නැත.

චීන විදේශ කටයුතු අමාත්‍ය චෙන් ගාන්ග් මහතා පසුගිය ජූනි 25 වැනිදායින් පසුව ප්‍රසිද්ධියේ පෙනී සිට නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණ.අවසන් වරට විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකා, වියට්නාම සහ රුසියානු නියෝජිතයන් මුණගැසී ඇති බවත් ඉන්පසුව ඔහු කිසිඳු අවස්ථාවක ප්‍රසිද්ධියේ පෙනී සිට නොමැති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.

බෙයිජිං රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාකාරකම් අතින් කාර්ය බහුල වී සිටින අවස්ථාවක විදේශ කටයුතු අමාත්‍යවරයා දින 30 කට අධික කාලයක් මහජනතාවගේ ඇසට හසු නොවී අතුරුදහන් වී සිටීම අසාමාන්‍ය කරුණක් බවත් ඒ හේතුවෙන් විවිධ පාර්ශ්ව උපකල්පනයන් ඉදිරිපත් කිරීමට පටන් ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.

පනස් හත් හැවිරිදි චීන විදේශ කටයුතු අමාත්‍ය චෙන් ජනාධිපති ෂී ජින්පින් ගේ සමීපතමයෙකි.එරට විදේශ කටයුතු අමාත්‍යංශය පැවැත්වූ මාධ්‍ය හමුවලදී චීන විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙම අතුරුදහන් වීම පිළිබඳ මාධ්‍යවේදින් කිහිපවතාවක් ප්‍රශ්න කර ඇතත් එහිදී අමාත්‍යවරයා සම්බන්ධයෙන් ලබා දීමට තොරතුරක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකයන් පැවසූ බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.