දින දාසයක කාලයක් වෛද්‍යවරියක ඇතුළු වෛද්‍යවරුන් තිදෙනෙකු රාජකාරි පැහැර හැරීම නිසා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අටේ වාට්ටුවේ නේවාසික රෝගි දරුවන්ට ප්‍රතිකාර කිරීමේ කටයුතු අඩාළ වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය අරුණට පැවැසීය. මෙම තත්ත්වය මත එම වාට්ටුවට ළමා රෝගීන් ඇතුළත් කිරීම සීමා කර තිබේ.
අදාළ වෛද්‍යවරු තිදෙනාගේ නොපැමිණීම සම්බන්ධයෙන් රෝහල් බලධාරින් සෞඛ්‍ය අමාත්‍යාංශයටද දැනුම් දීමක් සිදුකළද මෙතෙක් එම වෛද්‍යවරිය ඇතුළු වෛද්‍යවරු තිදෙනාට අදාළව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව වාර්තා වෙයි.
කෙසේ වුවද මේ වනවිට එම වාට්ටුවේ ප්‍රතිකාර කටයුතු සිදුකරනු ලබන්නේ සීමාවාසික වෛද්‍යවරුන් බවත් එය දරුවන්ගේ ජීවිතවලට අවදානමක් ඇති කරන බවත් රෝහල් බලධාරිහු පවසති.
රිජ්වේ ළමා රෝහලේ අටේ වාට්ටුවේ රෝගි දරුවන් පනස් දෙනෙකු පමණ ප්‍රතිකාර ගනු ලබයි.
රෝහලේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරියක් සැර පරුෂ බව පවසමින් පසුගිය විසි එක්වැනිදා (21) සිට ළමා රෝගීන් බැලීමට මෙම වෛද්‍යවරු තිදෙනා අටේ වාට්ටුවට පැමිණ නැත.
රෝහලේ සේවය කරනා එම විශේෂඥ වෛද්‍යවරිය රෝහල් කාර්ය මණ්ඩලය සමග සැර පරුෂ ලෙස කටයුතු කළද ළමා රෝගීන් පරීක්ෂා කිරීමේදි එවැනි ගැටලුවක් නොමැති බවද වාර්තා වෙයි.
කෙසේ වුවද මෙම විශේෂඥ වෛද්‍යවරයාගේ හැසිරීම සම්බන්ධව රෝහල් අධ්‍යක්ෂවරයාට පැමිණිලි ලැබී ඇති අතර රෝහල් අධ්‍යක්ෂවරයා ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දැනුම් දීමක් කර ඇත.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අදාළ විශේෂඥ වෛද්‍යවරයා සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වමින් සිටියි.
එසේ පරීක්ෂණයක් පවත්වමින් සිටින වාතාවරණයක් තුළ මෙම වෛද්‍යවරු තිදෙනා ළමා රෝගීන් බැලීමට වාට්ටුවට නොපැමිණීම අනුමත කළ නොහැකි බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජේ. විජේසූරිය මේ සම්බන්ධව අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
ඒ අනුව රෝහල් අධ්‍යක්ෂවරයා මෙම වෛද්‍යවරු තිදෙනාට සේවයට පැමිණෙන ලෙස දැනුම් දී ඇති අතර එහිදි අදාළ වෛද්‍යවරු තිදෙනා පවසා ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කාර්යාලයේ සේවයට වාර්තා කරන බවත් ඒ සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අනුමැතිය ලබා දී ඇති බවත්ය.
එසේ පවසමින් රෝහල් අධ්‍යක්ෂවරයා සමග මෙම වෛද්‍යවරු තිදෙනා බහින් බස් වීමක්ද සිදුකර තිබේ.
රෝහල් බලධාරින් පවසන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මේ සම්බන්ධව කිසිදු දැනුම්දීමක් අදාළ වෛද්‍යවරු තිදෙනාට සිදුකර නොමැති බවය.