ගසකට නැග එකවර ඇළට පැනීමේදී හිස් එකට ගැටීමෙන් දරු දෙදෙනෙකු මරුට

0

ගසකට නැග එකවර ඇළට

යාන් ඔය ජලාශයේ සිට පදවි ශ්‍රී පුර ප්‍රදේශයේ කුඹුරු ඉඩම්වලට ජලය මුදා හැරෙන ඇළක දිය නාමින් සිටි දොළොස් හැවිරිදි සහ දාහතර හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනකු ගසකට නැග එකවර ඇළට පැනීමේදී එකිනෙකාගේ හිස් එකට ගැටීමෙන් සිදුවූ අනතුරකින් පසු දෙදෙනාම දියේ ගිලී මියගොස් ඇත.

පෙරේදා (01දා) සවස 3.45 ට පමණ මෙම සිද්ධිය වී ඇති බව පදවි ශ්‍රී පුර පොලීසිය පවසයි.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ පදවි ශ්‍රී පුර යාය 12 විද්‍යාලයේ 06 සහ 08 ශ්‍රේණිවල ඉගෙනුම ලබමින් සිටි පදවි ශ්‍රී තිස්සපුර යාය 12 සිතුම් ලක්ෂිත සහ බී. පී. දිනුක යන සිසුන් දෙදෙනෙකි.

ඔවුන් දෙදෙනා තවත් මිතුරන් කීප දෙනකු සමග අඩි පහ හමාරක් පමණ ගැඹුරැති එම ඇළෙන් දිය නෑමට ගොස් ඇත.

බොහෝ වේලාවක් ගසට නැග නැවත ඇළට පනිමින් විනෝද වෙමින් දිය නා ඇති එම පිරිමි ළමයින් දිය නෑම අවසන් කොට ඇළෙන් ගොඩට ගොස් ඇත.

ඉන්පසු දියේ ගිලී මියගිය ළමයින් දෙදෙනා නැවත වරක් ඇළ ඉවුරේ පිහිටි ගසට නැග එකවර ඇළට පැනීමේදී මෙලෙස දෙදෙනාගේ හිස් එකට ගැටුණු බවත් එම අවස්ථාවේ දෙදෙනාම දියේ අතුරුදන් වූ බවත් සිද්ධිය සියැසින් දුටු ඔවුන් දෙදෙනාගේ සෙසු මිතුරන් පදවි ශ්‍රී පුර පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා තිබේ.

එම දේහයන් පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (02දා) පදවිය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර පදවි ශ්‍රී පුර පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු