කළුකඩ හරහා ඩොලරයේ මිල කෘත්‍රිම ලෙස ඉහළට ?

0

ඩොලරයේ මිල කෘත්‍රිම ලෙස

කොළඹ නිල නොවන මුදල් වෙළෙඳපොළ (කළුකඩ වෙළෙඳපොළ) හරහා නැවතත් ඩොලරයේ මිල කෘත්‍රිම ලෙස ඉහළ දැමීමට කූඨ කළුකඩ වෙළෙඳුන් කිහිප දෙනකු සැලසුම් සහගතව ක්‍රියා කරමින් සිටින බව දේශයට වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් දේශය විසින් සිදු කරන ලද නිරීක්ෂණයන්ගෙන් අනාවරණය වූයේ මහ බැංකුව දිනපතා ඩොලරයට නියම කරන වටිනාකමට වඩා රු. 15/- ක් පමණ ගෙවා ඩොලර් අතේ ඇති අයගෙන් මොවුන් ඒවා මිලට ගන්නා බවය. කටුනායක ගුවන් තොටුපොළට විදේශගතව සිට පැමිණෙන ඩොලර් ඇති අයගෙන්ද මෙලෙස වැඩි මිල ගෙවා ඩොලර් මිලට ගන්නා ජාවාරම්කරුවන් පිරිසක් සිටින බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

මහ බැංකුව ඩොලරයකට නියම කරන ගැනුම් මිලට වඩා රු. 15/- ක් ගෙවා පිටතදී ඩොලර් මිලට ගන්නා මෙම කූඨ ව්‍යාපාරිකයන් ආපසු එම ඩොලර් අලෙවි කරන්නේ තවත් රු. 15/- ක පමණ මිල වැඩි කිරීමෙන් අනතුරුවයි. උදාහරණ ලෙස අප මෙම තත්ත්වය නිරීක්ෂණය කළ දිනයේ ඩොලරයකට මහ බැංකුව නියම කළ ගැනුම් මිල රු. 305/- කි. එහෙත් කළුකඩ වෙළෙඳුන් ඩොලරය රු. 320/- ට මිලට ගෙන රු. 335/- ට අලෙවි කළ බව අපට කොළඹ කොටුවේ මූල්‍ය අලෙවිකරුවන්ගෙන් දැනගන්නට ලැබිණ.

මෙලෙස ඩොලරයේ මහ බැංකු වටිනාකමට වඩා වැඩි මිලට ඇතැම් පිළිගත් මූල්‍ය ආයතන විසින්ද ඩොලර් මිලට ගනිමින් සිටින බව එම මූල්‍ය අලෙවිකරුවෝ පැවසූහ.

මෙකී මුදල් ජාවාරම සිදු කරන කූඨ වෙළෙඳුන් කිහිප දෙනා සහ ආයතන මෙමගින් ඩොලරයේ සැබෑ වටිනාකම ව්‍යාජ ලෙස ඉහළ දමා අධික ලාභයක් ලබාගැනීම ගැන ශ්‍රී ලංකා මහ බැංකුව වහා පියවරක් ගත යුතු බව අපගේ නිරීක්ෂණවලදී අප සමඟ අදහස් දැක්වූ මූල්‍ය වෙළෙඳපොළ ක්‍රියාකාරීන් කිහිප දෙනෙක්ම පැවසූහ.

දේශය