රජය ඩොලර් 20 බැගින් එන්නත් ලක්ෂ 5ක් මිලදීගත හැකි දානපතියෙක් සොයයි

0
Covid 19 Vaccine - එන්නත් ලක්ෂ 5ක් මිලදීගත හැකි දානපතියෙක් සොයයි

රජයේ කොවිඩ් 19 මර්ධන එන්නත් වැඩපිළිවෙලේ දෙවන මාත්‍රාව ලබාදීමේ දැඩි අර්බුදයකට ලක්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ලද එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් රජය විසින් පළමුව මහජනතාව වෙත සහ කොවිඩ් මර්ධනයේ ඉදිරිපෙළ ගැටෙන්නන් වෙත ලබාදීමට කටයුතු කළා.

මෙලෙස පළමු මාත්‍රාව ලෙස ලබාදුන්නේ ඉන්දියාවේ සීරම් සමාගමේ නිෂ්පාදනය කරන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් මර්ධන එන්නතයි.

කෙසේ වෙතත් ඉන්දියාවේ කොවිඩ් වසංගතය බරපතළ ලෙස පැතිර යාමත් සමඟ සීරම් සමාගමට ලෝක සෞඛ්‍ය සංවිධානයට පොරොන්දු වූ පරිදි අවශ්‍ය එන්නත් ලබාදීම සිදුකල නොහැකි වූයේ එහි ඉල්ලුම ඉන්දියාව තුළ සැපයිය නොහැකි මට්ටමට ඉහල යාම හේතුවෙන්.

මේ සමඟ කොවැක්ස් ජාත්‍යන්තර සහනාධාර වැඩපිළිවෙල යටතේ එන්නත්කරණයට එළඹුණු රටවල් 80ක් පමණ දැඩි අසීරුතාවයට පත්වුනා.

පළමු වටයේම එම පහසුකම ලැබූ ශ්‍රී ලංකාවත් මේ වනවිට ඇස්ට්‍රා සෙනෙකා දෙවන මාත්‍රාව ලබාදීමේ බරපතළ අර්බුදයකට මුහුණ දී සිටිනවා

මේ අනුවයි සෞඛ්‍ය අංශ මේ වනවිට ඇස්ට්‍රා සෙනෙකා එන්නත් අතිරේක තොග මිලදීගෙන ඇති රටවල් සමඟ සාකච්ඡා කරමින් අවශ්‍ය එන්නත් ලබාගැනීම සඳහා උත්සාහ දරනු ලැබුවේ.

ඒ අනුව මැදපෙරදිග රාජ්‍යයක් සමඟ සිදුකළ සාකච්ඡාවකදී දෙවැනි මාත්‍රාව සඳහා රජයට අවශ්‍ය එන්නත් ප්‍රමාණය මිලදී ගැනීමට තීරණය කෙරුනා.

ඒ එක් එන්නත් මාත්‍රාවක් ඩොලර් 20 ක් බැගින්.

කෙසේ වෙතත් මේ වනවිට එම එන්නත් මිලදීගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයාගැනීමේ දුෂ්කරතාවයකට රජය මුහුණ දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ වනවිට රජය එම එන්නත් මාත්‍රා ප්‍රමාණය ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස ලබාදිය හැකි දේශීය හෝ විදේශීය දානපතියෙක් ස්වේච්ඡා සංවිධානයක හෝ එවන් ක්‍රියාමාර්ගයක සහය ලබාගැනීමට උත්සහ දරනවා.

මෙම එන්නත් මාත්‍රා ලක්ෂ 5 ලබාගැනීම සඳහා රජයට වැයවෙතැයි අපේක්ෂිත මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක්. එය මෙරට මුදලින් රුපියල් කෝටි 200කට අධිකයි.

(හිරු නිවුස් වෙබ් අඩවිය ඇසුරිනි)