සමස්ත රට ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51කින් විදේශ ගමන් බලපත්‍ර අයැදුම්පත් භාර ගැනීමේ ක්‍රමවේදය අද (ජූනි 15) සිට ආරම්භ වීමට නියමිත ය.
විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින සියලු දෙනාට වඩාත් පහසුවෙන් තම විදේශ ගමන් බලපත්‍රය තම දිස්ත්‍රික්කයෙන් ම සකස් කර ගැනීමට අවශ්‍ය පහසුකම් මෙලෙස සකස් කර තිබේ.
මෙලෙස රට පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51කට අනුබද්ධ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උපකාර්යාලවලදී විදෙස් ගමන් බලපත්‍ර අයැදුම්කරුවන්ට ඇඟිලි සලකුණු ලකුණු කිරීම ඇතුළු අයැදුම්පත්‍ර භාර දීමේ හැකියාව සලසා දී ඇත.
විදේශ ගමන් බලපත්‍ර ඉන්ටර්නෙට් ඔස්සේ නිකුත් කිරීමේ ආරම්භක උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හා මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 3.30ට හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසීය.
නව වැඩපිළිවෙළ ආරම්භ කිරීමෙන් අනතුරුව කිසිවෙකුට අවශ්‍ය නම්, ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙතත් පැමිණ අයැදුම්පත් භාර දී විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකියාවක් තිබෙන නමුත් ප්‍රාදේශීය කාර්යාල මඟින් එම සියලු කටයුතු සිදු කර ගැනීමට කිසිදු බාධාවක් නොමැති බව ද මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් පැවසයි.
මෙහිදී විදේශ ගමන් බලපත්‍රයක් අයැදුම් කළ පසු අයැදුම්කරුවන්ට දින තුනක් ඇතුළත විදේශ ගමන් බලපත්‍රය කුරියර් සේවාවකට ලබා දෙන බව ත් ඉන් අනතුරුව විදේශ ගමන් බලපත්‍රය නිවසට ම ගෙන්වා ගත හැකි බව ත් ඔහු සඳහන් කළේ ය.
එසේ ම, විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ එක්දින සේවාව ද සාමාන්‍ය පරිදි සිදු කර ගැනීමට හැකි බව ත් ප්‍රාදේශීය මට්ටමින් කිසිදු ගැටලුවකින් තොරව තමන්ට අවශ්‍ය විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට මෙම වැඩපිළිවෙළ යටතේ සිදු කළ හැකි බවත් ඔහු වැඩිදුරට ත් පැවසුවේ ය.
ඒ අනුව සමන්තුරේ, පොතුවිල්, නුවරගම් පළාත මධ්‍යම, කැකිරාව, හොරොව්පොතාන, මහියංගනය, හපුතලේ, කෝරළෙයිපත්තු, කාත්තන්කුඩි, සීතාවක, හෝමාගම, කරන්දෙණිය, අක්මීමණ, නෙළුව, මීගමුව, මීරිගම, ගම්පහ, තංගල්ල, තිස්සමහාරාමය, චාවකච්චේරි, පේදුරුතුඩුව, ඉංගිරිය, මතුගම, පානදුර, ගම්පොළ, කුණ්ඩසාලේ, පූජාපිටිය, ගලිගමුව, රුවන්වැල්ල, කරච්චි, කුලියාපිටිය, නිකවැරටිය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වයඹ පළාත් ප්‍රදේශය කාර්යාලය, මන්තායි බටහිර, නාවුල, අතුරලිය, දෙවිනුවර, බුත්තල, මුලතිව්, අඹගමුව, වලපනේ, ඇළහැර, දිඹුලාගල, හිඟුරක්ගොඩ, පුත්තලම, හලාවත, බලංගොඩ, කුරුවිට, අඹිලිපිටිය, කින්නියා හා වෙංගලසෙට්ටිකුලම යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී මෙම නව සේවාව ලබාගත හැකි ය.