ඩෙංගු වසංගත තත්ත්වය තවදුරටත් තීව්‍රයි

0

ඩෙංගු වසංගත තත්ත්වය

මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමඟ ඩෙංගු වසංගත තත්ත්වය තවදුරටත් තීව්‍ර වෙමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති නජිත් සුමනසේන මහතා සඳහන් කළේ, බ්‍රිටෝ දර්ශකයට අනුව මදුරු ඝනත්වය දිවයිනේ බොහෝ ප්‍රදේශවල සියයට 25ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

“මේ වනවිට සමහර ප්‍රදේශවලට කඩින් කඩ වර්ෂාව ලැබෙමින් පවතිනවා. ඒ තත්ත්වය තුළ මධ්‍යම පළාත ඒ වගේම ඌව පළාත සහ අනෙකුත් ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය සීඝ්‍රයෙන් ඉහළ ගිහින් තියෙනවා. මේ තත්ත්වය එක්ක සාපේක්ෂව අපේ සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ දත්තවලට අනුව බ්‍රිටෝ දර්ශකය තවමත් අඩුවීමක් පෙන්නුම් කරන්නේ නෑ. එය මේ වනවිට 25%ක් දක්වා බොහෝ ප්‍රදේශවල ඉහළ ගිහින් තියෙනවා. සමහර ප්‍රදේශවල මධ්‍යම රජයෙන් කරන ලද දත්තවලට අනුව 40%ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. ඒ වගේම සමස්ත දර්ශකය 20%ක් පමණ වෙනවා. මේ තත්ත්වය අපිට පෙන්නුම් කරන්නේ ඩෙංගු වසංගත තත්ත්වය තවදුරටත් අපට පාලනය කරගත නොහැකි මට්ටමට ඉදිරියට ගමන් කරන බවයි.”

කෙසේ වෙතත් බස්නාහිර පළාතේ ඩෙංගු රෝගය පාලනය කිරීම හැකි වුවහොත් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට හැකි වන බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“විශේෂයෙන්ම බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනකත්, මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කය, ත්‍රිකුණාමලය, යාපනය, කුරුණෑගල හා පුත්තලම වැනි දිස්ත්‍රික්කවල බ්‍රිටෝ දර්ශකය ඉහළ ගිහින් තියෙනවා. ඒ සඳහා 50%කට වැඩි රෝගීන් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතේ. අනෙකුත් ප්‍රදේශවලට ව්‍යාප්ත වීම සිදුවන්නේ බොහෝවිට බස්නාහිර පළාතෙන්. ඒ නිසා විශේෂයෙන්ම බස්නාහිර පළාතේ ඩෙංගු රෝගය පාලනය කරගැනීමට හැකි වුණොත් අනෙකුත් ප්‍රදේශවලත් මේ රෝගී තත්ත්වය අවම කරගැනීමට හැකිවෙන බව අපි විශ්වාස කරනවා. මේ වනවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 59ක් අවදානම් කලාප ලෙස නම් කරලා තියෙනවා. මේ වනවිට රෝගීන් 40,000ක් පමණ වාර්තා වෙලා තියෙනවා. මේ තත්ත්වය පාලනය කරගැනීමට අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබගේ පරිශ්‍ර පිරිසිදු කර ගැනීමට කටයුතු කරන ලෙස.”