අපි ඇමැති එක්කවත් අයිසීසී එක්කවත් ඩීල් දැම්මෙ නැහැ – ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා

0

ක්‍රිකට් ලේකම් මොහාන්

ස්වෝත්සාහයෙන් නැගිටීම අද ක්‍රීඩකයන්ගේ ඇඟේ නැහැ

සංගක්කාර එදා අතිරේක පැය ගණන් ප්‍රැක්ටිස් කළා

හොඳ නරක මොකක්ද කියලා අඳුර ගන්න ක්‍රීඩකයන්ට පුළුවන් විය යුතුයි

එල්පීඑල් ආදායම සියයට 11 කින් වැඩි වෙනවා

මෙරට වඩා බලවත්ම සහ ධනවත්ම ක්‍රීඩා සංගමය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පසුගිය දා පැවැත්විණි. එහිදී 2023 – 2025 වසර දක්වා යළි බලය හිටපු පරිපාලනය වෙතම යළි හිමි විය. ඒ අනුව බලයට පත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා සමග “දිවයින ඉරිදා සංග්‍රහය” විසින් කරන ලද සාකච්ඡාව පහත දැක්වේ.

ප්‍රශ්නය – අඛණ්ඩව තෙවැනි වරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ලෙස පසුගියදා ඔබ ඇතුළු කණ්ඩායම වැඩ භාර ගත්තා. එම කමිටුව පත් වුණේ නිතරගයෙන්. නිතරගයෙන් පුටුවලට පත් වූවත් ඒ පුටු ආරක්ෂා කරගන්න ඔබ ඇතුළු කණ්ඩායමට වෙනත් පාර්ශ්ව සමග තරග කරන්න සිදු වෙයිද?

පිළිතුර – එහෙම තරගයක් එයි කියලා හිතන්න බැහැ. තරග කිරීමට අවශ්‍ය නම් ඡන්දෙට ඉදිරිපත් වෙන්න තිබුණා. බොහොම විනිවිදභාවයෙන්, ස්වාධීන, අපක්ෂපාතී, නිලවරණයක් තමයි අපි පැවැත්වුවේ. සුදුසුකම් සපිරූ ඕනෑම අයෙකුට ඒ සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව තිබුණා. ඒ නිසා මම හිතන්නේ නැහැ ඉදිරියේදී අපට කාගෙන්වත් බාධාවක් ඇති වෙයි කියලා.

ප්‍රශ්නය – පසුගිය මාස තුන හතරක කාලය ඇතුළත සිදු වූ දේවල් අනුව මේ විධායක කමිටුවේ නියමිත කාලය නිමා නිමාවීමට පෙර ක්‍රීඩා ඇමැතිතුමා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හරියි කියා ඔබට හිතෙන්නේ නැද්ද?

පිළිතුර – දැන් එහෙම අවදානමක් නැහැ. හැබැයි මීට පෙර නම් එවැනි අනියත බියක් තිබුණා. අපේ ස්වාධීනත්වයට එහෙම බාධා එල්ල වුණා. ඒත් මං හිතන්නේ නෑ ඉදිරියේදී එහෙම වෙයි කියලා. අපි ක්‍රීඩා ඇමැතිවරයා සමග ඉතා සුහදව එකතුවී රටේ ක්‍රිකට් නංවන්න තමයි බලාපොරොත්තුව. එතුමාගෙන් ඊට අවශ්‍ය දායකත්වය ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය – මීට ටික කලකට පෙර ඔබ සිටියේ මේ මතයේ නොවෙයි. ක්‍රිකට් පරිපාලනයට දේශපාලන අතපෙවීම් සිදුවෙනවා කියා ඔබ ජාත්‍යන්තරයේ පිහිට පැතුවා. අධිකරණය හමුවටත් ගියා. එකපාරටම මෙසේ වෙනස් වෙන්න ඇමැති සමග ඩීල් එකකටවත් ගියාද?

පිළිතුර – අපි ඩීල්කාරයෝ නොවෙයි. අපිට ඕන රටේ ක්‍රිකට් එක ඉදිරියට ගෙන ඒමයි. ඇමැතිතුමා දැන් යථාර්ථය අවබෝධ කර ගෙන තිබෙනවා. එය අපට විශාල ශක්තියක්. අපේ ස්වාධීනත්වය රැකගෙන දැන් අපිට වැඩ කරන්න පුළුවන්.

ප්‍රශ්නය – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නියෝජිතයන් ශ්‍රී ලංකාවට කැඳවලා මෙහෙම ගියොත් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් වෙයි කියලා ඔවුන් හරහා ඇමැතිවරයා බය කිරීමට ලක් කළාද?

පිළිතුර – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් මෙරටට ආවේ ස්වාධීන නියෝජිතයෝ මිසක් අපේ වන්දිභට්ටයෝ නොවෙයි. එම නියෝජිතයන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව, හිටපු පරිපාලකයන් වන සිදත් වෙත්තමුණි, නිශාන්ත රණතුංග මෙන්ම ක්‍රීඩා ඇමැතිවත් මුණ ගැසුණා. රටේ ක්‍රිකට්වලට දේශපාලන බලපෑම් ඇති වෙනවා ද යන්න සොයා බැලීම තමයි එම අයිසීසී නියෝජිතයන්ගේ ශ්‍රී ලංකා ගමනේ අරමුණ වුණේ. මං හිතන්නේ ඔවුන් ඒ කටයුත්ත නිවැරැදිව ඉටු කළා.

ප්‍රශ්නය – ඔබ ඊට පෙරත් ක්‍රිකට් ආයතනයේ ස්වාධීනත්වයට සිදු වන බලපෑම් පිළිබඳව අයිසීසී නියෝජිතයන් දැනුවත් කළා. ඒ පිළිබඳව ඔවුන් මොනවද කිව්වේ?

පිළිතුර – ඔවුන් අපෙන් ඇහැව්වා ශ්‍රී ලංකා ක්‍රිකට් “බෑන්” කරන්නද කියලා. එහෙම වුණොත් ආසන්නයේම අපට තියෙන ලෝක කුසලාන තරගාවලිය මෙන්ම ජාත්‍යන්තර තරගාවලි අහිමි වෙනවා. රටට අයිසීසීයෙන් ලැබෙන සියලු මුදල් අහිමි වී යනවා කිව්වා. එහිදී අප ඒ නියෝජිතයන් හමුවේ ඉල්ලා සිටියා ශ්‍රී ලංකාවට කිසි විටෙකවත් එවැනි තහනමක් නොපනවන ලෙස. ඒ වෙනුවට අපේ රටට ඇවිල්ලා මේ ප්‍රශ්න ගැන සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන මහතා ජාතික කණ්ඩායම තරග කරන ඇතැම් අවස්ථාවලදී ඔවුන් සමග රැඳී සිටින්නේ නැහැ. ජාතික කණ්ඩායමට අවශ්‍ය මෙහෙවර පුහුණු උපදේශක ලෙස මහේල ජයවර්ධනගෙන් ඉටු වන බව පෙනෙන්නට නැහැ. ඔබ මොකද ඒ ගැන කියන්නේ?

පිළිතුර – පුහුණු උපදේශක ලෙස කණ්ඩායම යන හැම තැනම මහේල ජයවර්ධන යා යුතුයි කියලා නීතියක් නැහැ. හැබැයි ඔහු තමාගේ රාජකාරිය අකුරට ඉටු කරන අයෙකු කිව්වොත් නිවැරදියි. ඔහුගේ අධීක්ෂණය යටතේ තමයි ශ්‍රී ලංකාව හැම තරගයටම ඉදිරිපත් වෙන්නේ. පුහුණු උපදේශකත්වය කියන්නේ හැමවිටම කණ්ඩායම ළඟම ඉඳන් කරන්න ඕනා කාර්යයක් නොවෙයි. අද තාක්ෂණය දියුණුයි. කණ්ඩායම සිටින තැනට මහේලට යෑමට නොහැකි අවස්ථාවන්වලදී තාක්ෂණය උපයෝගී කර ගෙන මහේල කණ්ඩායමට අවශ්‍ය උපාය මාර්ගික දැනුම හා උපදෙස් ලබා දෙනවා. ශ්‍රී ලංකාවට ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමටත් මහේල ගේ එම පුහුණු උපදේශනය උදව් උපකාරී වුණා.

ප්‍රශ්නය – ඔබ කෙසේ කීවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අද ලෝක කුසලාන තරගාවලියටවත් සෘජුව සුදුසුකම් ලබන්න නොහැකි වී තිබෙනවා. ලෝක කුසලාන දෙකක් දිනූ රටක් සුදුසුකම් ලැබූ තරගාවලියකට යනව කියන්නේ පරිපාලනයේත් දුර්වලතාවක් එතන තියෙනවා කියන එක නේද?

පිළිතුර – ක්‍රීඩකයන්ට කණ්ඩායමට අවශ්‍ය සියලු දේ අපි අඩුවක් නොමැතිව ලබාදීලා තියෙනවා. විධිමත් පුහුණු කාර්ය මණ්ඩලයක් සපයා තිබෙනවා. අපේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවල අඩුවක් නැහැ. හැබැයි ජාත්‍යන්තර තරගවල දී ඔවුන්ගේ ආත්ම විශ්වාසය සහ මානසික ශක්තිය මෙන්ම දරාගැනීමේ හැකියාව සහ අවශ්‍ය අවස්ථාවලදී නිවැරදි තීන්දු තීරණ ගැනීමේ හැකියාවේ අඩුවක් දක්නට ලැබෙනවා. වෙනත් රටවල ක්‍රීඩකයන් එහිදී අපට වඩා ඉදිරියෙන් සිටිනවා. එය අපේ කණ්ඩායමේ අඩුපාඩුවක්.

ප්‍රශ්නය – වත්මන් ක්‍රීඩකයන්ගේ ආකල්ප මීට වසර ගණනාවකට පෙර සිටි ක්‍රීඩකයන්ගේ ආකල්ප හා සංසන්දනය කිරීමේදී පරිපාලකයෙකු ලෙස ඔබට මොන වගේ වෙනසක් ද දැනෙන්නෙ?

පිළිතුර – අද ඉන්න අයගේ ආකල්ප දියුණු කරන්න ඕනා. ඔවුන්ගේ ආකල්ප සහ දැක්ම තනිකරම මේ ක්‍රිකට් එකට විතරක් යොමු වෙනවා නම් අපේ ක්‍රිකට් අද වන විට මීට වඩා දියුණුයි. රට සහ කණ්ඩායම කියන එක අද ඔවුන්ගෙන් තරමක් ඈත් වෙලා තිබෙනවා. විශේෂයෙන් ක්‍රිකට් වාණිජකරණය වීමත් සමග මේ තත්ත්වය ඇති වුණා. සියයට සියයක් රට සහ ක්‍රිකට් වෙනුවෙන් කැපවුණු ක්‍රීඩකයන් අද සොයා ගන්න අමාරුයි. ස්වෝත්සාහයෙන් දියුණු විය යුතුයි කියලා හිතන ක්‍රීඩකයන්ගෙ අඩුවක් අද අඩුයි. ඇෆ්ගනිස්තානය අඩු පහසුකම් සහිත රටක්. ඔවුන් අද ක්‍රිකට් වලින් හොඳ තැනකට ඇවිත් තියෙනවා. කුමාර් සංගක්කාර ඉස්සර එයාට නියමිත පුහුණු කාලසීමාවෙන් පසුවත් පැයක් පමණ ප්‍රැක්ටිස් කරලා තමයි යන්නේ. මහේල ජයවර්ධනත් එහෙමයි. ඔවුන් ක්‍රිකට් පිටියේ ඉහළට ආවේ ඒ ස්වෝත්සාහය සහ කැපවීම නිසයි. ඒ වගේම තවත් දුර්වලතාවක් කණ්ඩායමේ දකින්න පුළුවන්. මහේල සහ සංගක්කාරගේ නායකත්වයෙන් පසුව අපිට විශිෂ්ටතම නායකයෙක් මුණ ගැසුණේ නැහැ. ඇන්ජලෝ ඒ අතරින් තරමක් දුරට සාර්ථකයි. චන්දිමාල් අපට අවශ්‍ය නායකත්ව ලක්ෂණ පෙන්නුවත් ඔහුට දිගු කලක් නායකත්වයේ රැඳී සිටින බැරි වුණා.

ප්‍රශ්නය – සංගක්කාර මහේල නැවත කණ්ඩායමට එන්නෙ නැහැ. අපි මේ ඉන්න අයගෙන්මයි දියුණු වෙන්න ඕනා. මොනවාද ඒ සඳහා ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ?

පිළිතුර – ජාතික කණ්ඩායමේ ප්‍රගතිය වර්ධනය කිරීම වෙනුවෙන් අලුත් ක්‍රිකට් කමිටුවක් හඳුන්වා දීමට අපි බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර තරග කමිටු සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සකස් කිරීමට බලාපොරොත්තු වන එම කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක මහේල ජයවර්ධන, ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් පත්කරන ලද ක්‍රිකට් තාක්ෂණ කමිටුවේ සභාපති සනත් ජයසූරිය, ජෙරම් ජයරත්න, උප සභාපති රවීන් වික්‍රමරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත වීමට නියමිතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සහ ලේකම්වරයා ලෙස මාගේ ද අධීක්ෂණයෙන් යුතුව එම කමිටුවේ කටයුතු ඉදිරි කාලයේදී ක්‍රියාත්මක වෙනවා.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විනය පිරිහීම සම්බන්ධයෙන් වැඩියෙන්ම චෝදනා එල්ල වුණේ ඔබේ පසුගිය පරිපාලන සමයේ. ඔබට ඒ චෝදනා වලින් නිදහස් වෙන්න බැහැ.

පිළිතුර – ඒක අපි පිළිගන්නවා. ඔස්ටේ්‍රලියාවේදී ක්‍රීඩකයන් කීපදෙනෙක් වැරදි කළා. එංගලන්තයේදීත් එහෙමයි. ඒ නිසා ක්‍රීඩකයගේ විනය සම්බන්ධයෙන් අපි දැන් දැඩි නීති රීති අනුගමනය කරනවා. වැරදි කළ අයට අපි දඬුවම් දුන්නා. ආයෙත් එවැනි වැරදි නොවෙන ලෙස අපි කටයුතු කර තිබෙනවා. ඒ වගේම ක්‍රීඩකයන් වුණහම ඔවුන්ටත් ස්වයං විනයක් තිබිය යුතුයි. හැමතිස්සෙම අපිට ඔවුන් පසුපස යන්න බැහැ.මේ පාසල් දරුවන් නොවේ.හොද නරක මොකක්ද කියලා ඔවුන්ට තේරෙනවා. එසේ තිබියදීත් ඔවුන් වැරදි කළ එකයි අපිට කනගාටු.

ප්‍රශ්නය – එල්පීඑල් සිව්වැනි අදියරයට තව සීමිත දින ගණනාවක් පමණයි තිබෙන්නේ.ක්‍රීඩක වෙන්දේසියක් පැවැත්වෙන දෙවෙනි ලීග් ක්‍රිකට් තරගාවලිය බවට එය පත්වන බව සඳහන් වෙනවා.

පිළිතුර – ඔව්. අයිපීඑල් ක්‍රිකට් තරගාවලියට පසුව එවැනි ක්‍රීඩක වෙන්දේසියක් සිදු කරන රට ලෙස ශ්‍රී ලංකාව මෙවර ඉදිරියට ආවා. කොහොමත් අපේ රට ප්‍රධාන ලීග් තරගාවලියක් පැවැත්විය යුතුයි. ඒ අනුව එල්පීඑල් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායමට නවක ක්‍රීඩකයන් හඳුනා ගැනීම අරමුණු කරගෙන ඇති කර ගත් ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියක්. මෙවර පසුගිය අවස්ථා තුනටම වඩා හැම අතින්ම දියුණු වෙලා. ගුණාත්මකභාවය, ප්‍රමාණාත්මකභාවය පමණක් නොවේ ආදායම අතින් ද මෙවර වර්ධනයක් ලබා ගැනීමට අපේක්ෂිතයි. රූපවාහිනී විකාශන අයිතිය වෙනුවෙන් පමණක් ඩොලර් මිලියන 2.37 ක ආදායමක් අපි බලාපොරොත්තු වෙනවා. එය පසුගිය වසරේ ඩොලර් මිලියන 1.9 ක ආදායමට වඩා සියයට 11 ක වර්ධනයක්. ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගේ ඉහළ ආකර්ෂණයක් මෙවර තරගාවලිය සඳහා යොමු වෙලා තිබෙනවා.

කුෂාන් සුබසිංහ