මහර රැඳවියන් 11කට වෙඩි තැබීම අපරාධයක්

0

මහර රැඳවියන්
‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාදනය වූ රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන්නැයි ඉල්ලා මහර බන්ධනාගාරයේ රැඳවියන් කළ විරෝධතාවක දී ඔවුන්ට වෙඩි තබා රැඳවියන් 11 දෙනකුගේ මරණ සිදුකිරීම අපරාධයක් බව තීරණය කළ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩිවවිදාන මහතා, එම අපරාධයට සම්බන්ධ සියලුම බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට රහස් පොලිසියට අද (26) නියම කළේය.

මරණකරුවන්ට වෙඩි වැදී ඇති ආකාරය අනුව කැරැල්ලක් මැඬපැවැත්වීම සඳහා හෝ මානුෂිය මෙහෙයුමක් සඳහා වෙඩි තැබූ බවක් පෙනෙන්නට නැතැයි තීන්දු කළ මහේස්ත්‍රාත්වරයා, මරණකරුවන්ට වෙඩි වැදී ඇති ආකාරය අනුව කලහකාරී අන්දමින් හැසිරුණු බව කියන රැඳවියන් විසුරුවා හැරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් වෙඩි තැබුවාදැයි සැක මතුවන බව ද තීන්දුවේ සඳහන් කළේය.

මහර බන්ධනාගාරයේ ඇතිවූ කැරැල්ල මැඬපැවැත්වීම සඳහා ඔවුන්ගේ දණහිසින් පහළට වෙඩි තැබීමට අණ දුන් බවත් ඒ අනුව කලහකාරී අන්දමින් හැසිරුණු රැඳවියන්ගේ දණහිසින් පහළට වෙඩි තැබූ බවටත් සාක්කි ඉදිරිපත් වුවත් මරණයට පත් වූ කිසිදු රැඳවියකුගේ දණහිසින් පහළට වෙඩි වැදී තිබූ බවට සලකුණු නොමැති බවට තීන්දු කළ මහේස්ත්‍රාත්වරයා, මියගිය රැඳවියන් 11 දෙනාගේම මරණ සිදුවී ඇත්තේ ඔවුන්ගේ හිස, බඩ, පපුව ආදී ප්‍රදේශවලට වෙඩි වැදීමෙන් ඇතිවූ තුවාල හේතුවෙන් බව ද පැවසීය.

මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් කළ වෙඩි තැබීමක දී රැඳවියන් 11 දෙනකු මියයෑම සහ තවත් රැඳවියන් විශාල පිරිසකට තුවාල සිදුවීම සම්බන්ධයෙන් කළ මහේස්ත්‍රාත් පරීක්‍ෂණය අවසානයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එලෙස නියම කළ මහේස්ත්‍රාත්වරයා, මියගිය රැඳවියන් 11 දෙනා සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන්ට මරණ සහතික නිකුත් කිරීමට ද නියම කළේය.

එලෙස මරණ සහතික නිකුත් කිරීමට නියම කරන ලද්දේ මෙම සිද්ධියේ දී මිය ගිය මහර බන්ධනාගාරයේ රඳවා සිටි අමිත් සුභසිංහ, රවිඳු සුලක්‍ෂණ රුද්‍රිගු, සුජිත් කුමාර, ප්‍රගීත් අතුල කුමාර, කාරියවසම් හෙවත් රංග, සම්පත් පුෂ්පකුමාර, භවන්ත මහින්ද, මාලන් ෆෙක්, අවිශ්ක මධුෂාන්, ලහිරු නිමන්ත සහ සුජිත් කුමාර නමැත්තන් සම්බන්ධයෙනි.

සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේ දී සිද්ධිය සම්බන්ධ විමර්ශන කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධන පොලිස් පරීක්‍ෂක සුගත් කුමාර මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් (12222) වසන්ත මහතා පෙනී සිටියේය.

පසුගිය ‘කොවිඩ්’ සමයේ මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් පිරිසක් විසින් තමන්ට ‘කොරෝනා’ වයිරසය ආසාදනය වී ඇත්දැයි දැනගැනීම සඳහා ‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙසත් ‘කොරෝනා’ වයිරසය ආසාදනය වී බන්ධගාරයේ සිටින රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙසත් ඉල්ලා 2020 නොවැම්බර් 29 වැනිදා විරෝධතාවක් කළ බවත්, ඒ අවස්ථාවේ දී ඔවුන් කලහකාරී අන්දමින් හැසිරෙමින් විරෝධතාවයක නියැලී ඇති බවත් පොලිසිය අධිකරණයට වාර්තා කර තිබිණි.

එම විරෝධතාව මැඬපැවැත්වීම සඳහා බන්ධනාගාර නිලධාරීන් මුලින්ම ‘කඳුළු ගෑස්’ ප්‍රහාරයක් එල්ල කර ඇති බවටත්, ඉන් අනතුරුව ‘රබර් උණ්ඩ‘ යොදා කලහකාරී අන්දමින් හැසිරුණු රැඳවියන්ට වෙඩි තැබූ බවටත්, ඉන් පාලනය නොවූ රැඳවියන් පාලනය කර කැරැල්ල මැඬපැවැත්වීම සඳහා ජීව උණ්ඩ යොදා රැඳවියන්ගේ දණහිසින් පහළට වෙඩි තැබීමට අණ දී ඇති බවත්, ඒ අනුව කලහකාරී අන්දමින් හැසිරුණු රැඳවියන්ගේ දණහිසින් පහළට බන්ධනාගාර නිලධාරීන් වෙඩි තබා ඇති බවටත් සිද්ධිය සම්බන්ධයෙන් කළ මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයේ දී සාක්කි ඉදිරිපත් විය.

කැරැල්ල අවස්ථාවේ දී මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කිහිප දෙනකු ද මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයේ දී සාක්කි දී ඇති බවත්, එම සාක්කිවල දී බන්ධනාගාර නිලධාරීන් හතර අතේ වෙඩි තැබූ බවත්, තුවාල ලබා බන්ධනාගාරය තුළ වැටී සිටි බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර ගේට්ටුව දක්වා රැඳවියන් විසින් ඔසවාගෙන ඒමේදී බන්ධනාගාර නිලධාරීන් ඔවුන්ට පවා වෙඩි තැබූ බවටත් සාක්කි ඉදිරිපත් විය.

කොරෝනා සමයේ වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහාචාර්ය ජීන් පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් විසින් පශ්චාත් මරණ පරීක්‍ෂණ පවත්වා ඇති අතර, දැඩි සෞඛ්‍ය රැකවරණ මධ්‍යයේ වැලිසර හිටපු මහේස්ත්‍රාත්වරයා ස්ථානීය පරීක්‍ෂණය හා මරණකරුවන් හඳුනා ගැනීම සඳහා මහේස්ත්‍රාත් පරීක්‍ෂණය කර ඇත.

මෙම සිද්ධියට අදාළව කළ දීර්ඝ මහේස්ත්‍රාත් පරීක්‍ෂණය අවසානයේ තීන්දුව ප්‍රකාශයට පත් කළ වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩිවවිදාන මහතා මරණකරුවන්ට වෙඩි වැදී ඇති ආකාරය අනුව කැරැල්ලක් මැඬපැවැත්වීම සඳහා හෝ මානුෂිය මෙහෙයුමක් සඳහා වෙඩි තැබූ බවක් පෙනෙන්නට නැතැයි ද මරණකරුවන්ට වෙඩි වැදී ඇති ආකාරය අනුව කලහකාරී අන්දමින් හැසිරුණු බව කියන රැඳවියන් විසුරුවා හැරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් වෙඩි තැබුවාදැයි සැක මතුවන්නේ යැයි ද සඳහන් කළේය.

ඒ අනුව මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයක දී වෙඩි තබා රැඳවියන් 11 දෙනකු ඝාතනය කිරීම අපරාධයක් බවට තීරණය කළ මහේස්ත්‍රත්වරයා අපරාධයට සම්බන්ධ සියලුම බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට රහස් පොලිසියට නියම කළේය.