අලි සබ්‍රි පහරදුන්බව කියමින් කාතිවරයෙක් රෝහල්ගතවෙයි

0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තමන්ට පහර දුන් බව පවසමින් පුත්තලම කාති අධිකරණයේ කාති විනිසුරුවරයෙකු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් වී ඇත.

පහර කෑමට ලක්ව ඇත්තේ පුත්තලම කාති අධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස සේවය කරන ලද මොහොමඩ් රහමතුල්ලා මොහොමඩ් නම් අයෙකි.

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රිගේ දියණියගේ නිවෙසේදී පසුගිය 26 වන දා එම මන්ත්‍රීවරයා විසින් මෙම පහර දීම සිදු කරන ලද බවට ලැබී ඇති පැමිණිල්ලේ කරුණු සඳහන් වේ යැයි පොලිසිය කියයි.

තමන්ට කාති අධිකරණයේ විනිසුරු ධූරයෙන් ඉවත් වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පුත්තලම ජුම්මා දේවස්ථානයේ පාලක මණ්ඩලය හරහා බලපෑම් කරන බව ත්, තමාව පත් කර ඇත්තේ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයෙන් වන බැවින් එම බලපෑම තමන් බැහැර කළ බව ද පහර කෑමට ලක්ව ඇති කාතිවරයා පොලිසිය හමුවේ පවසා ඇත.

මේ සම්බන්ධයෙන් කතා කිරීමට යැයි පවසා තමන් කැඳවා පහර දීම සිදු කළ බව ද හෙතෙම පොලිසිය හමුවේ පවසා තිබේ.

සිද්ධිය සම්බන්ධව පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු කර ගෙන යයි.

  • ජූඩ් සමන්ත