ගිනිගනිමින් පවතින MV X-Press Pearl නෞකාවේ නවතම ගුවන් දර්ශන (Video)

0
MV X-Press Pearl - MV X-Press Pearl නෞකාවේ නවතම ගුවන් දර්ශන

කොළඹ වරායෙන් පිටත නැංගුරම්ලා තිබියදී ගිනිගැනීමට ලක්ව තවදුරටත් ගිනිගනිමින් පවතින MV X-Press Pearl නෞකාවේ ගින්න නිවීම සඳහා හෙළිකොප්ටර් යානා සහය තවදුරටත් ලබ දී ඇතැයි, ගුවන් හමුදාව පවසයි.

ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවේ, අද (26) ත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයක් ඒ් සඳහා යොදවා ඇති බවයි.

ගුවන් හමුදාව පසුගිය 21 වන දා සිට මේ දක්වා නෞකාවේ ගින්න පාලනය කිරීමේ මෙහෙයුමට සම්බන්ධ ව සිටී.

මේ දක්වා හෙලිකොප්ටර යානා මගින් ගින්න නිවීම සඳහා වියළි රසායනික ද්‍රව්‍ය කුඩු කිලෝ 425 ක් සාර්ථකව පහතට ‍හෙළා ඇති බව ද ගුවන් හමුදාව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

නෞකාව පුරා මේ වනවිට ගින්න ව්‍යාප්ත වෙමින් පවතින අතර ඊයේ එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් 25 දෙනා ම ආරක්ෂිතව ඉවත් කර ගැනිණ.

ගිනි ගැනීමට ලක්වෙමින් ඇති මෙම නැව ඉන්දියාවේ හසීරා වරායේ සිට පැමිණ ඇති  අතර එහි නයිට්‍රික් ඇසිඩ් ටොන් 25 ක් සමග වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486 ක් ප්‍රවාහනය කරමින් තිබී ඇත.