08 වනදා දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට වෘත්තීය සමිති සැලසුම් කරයි

0
Trade Unions - 08 වනදා දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට වෘත්තීය සමිති සැලසුම් කරයි

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව මෙම මස 08 වනදා දැවැන්ත විරෝධතාවයක් සහ වැඩ වර්ජනයක් පැවැත්වීමට වෘත්තිය සමිති සැලසුම්කර තිබේ.

ඔවුන් පවසන්නේ අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් එදිනට ක්‍රියාත්මක කිරීමට සූදානම් කර ඇති බවය.

එමෙන්ම එයින් පසුවත් රජයෙන් පිළිතුරු නොලැබුණහොත් සමස්ත සේවකයින්ම මහා වැඩ වර්ජනයකට යොමු වන බවද ඔවුන් අවධාරණය කළේය.

එහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ සභාපති ප්‍රසංග මැදවත්ත මහතා,

“අපි 8 වනදා අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරනවා. අපේ වැටුප අපිට දෙන්න ඕනේ. අපිට ජීවත් වෙන්න බෑ. ජීවන වියදම වැඩියි. දරුවන්ට උගන්නන්න බෑ. අම්මා තාත්තාට බෙහෙත්ටික දෙන්න නෑ. හැමදේම වැඩි වෙලා තියෙන්නේ. ”

ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල මහතා,

“08 වනදාට අහුම්කන්දෙන්නේ නැතිනම් එදා සිට අපි තීරණය කරනවා මේ රටේ වැඩ කරන ජනතාව සමස්ත මහා වැඩ වර්ජනයකට යන්න.”

ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා,

“පෙරවරු 10 වන දිනට ලෙඩ නිවාඩු වාර්තා කරලා සියලුම සමස්ථ සේවකයෝ කොළඹ විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය වෙත එනවා. කුමන තත්ත්වයක් යටතේවත් විදුලිය විසන්ධිවීමකට යන්න දෙන්නේ නෑ. පළවෙනි පැයේ ජනතාව ගැන හිතලා බිඳ වැටීම් සේවාවන් සහ බලාගාර පවත්වාගෙන යාම අපි කරනවා.”

මේ අතර, ”වැඩි කළ පොලී හා බදු අඩු කරනු” මැයෙන් මුදල් අමාත්‍යාංශයට ලිපියක් භාර දීම සඳහා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ සාමාජිකයින් පිරිසක් ඊයේ (06) කොළඹ රීගල් සිනමා ශාලාව ඉදිරිපිටට රැස්විය.

පසුව එහි සිට මුදල් අමාත්‍යාංශය දක්වා පාගමනින් යෑමට ඔවුන් සැලසුම් කර තිබූ නමුත්, එම ස්ථානයට පැමිණි පොලීසිය, පෙළපාලි යාමට ඉඩ ලබානොදිය හැකි බවත් වෘත්තීය සමිති නායකයින් දස දෙනෙක් පමණක් පාගමනින් යන ලෙසටත් ඉල්ලීමක් කළේය.

කෙසේ වෙතත්, එම ඉල්ලීම නොතැකූ වෘත්තීය සමිති සාමාජිකයින් මුදල් අමාත්‍යාංශය වෙත ගමන් ආරම්භ කළ අතර පොලීසිය ඊට බාධා කිරීමත් සමග නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය.

එහිදී ද වෘත්තීය සමිති නායකයින් දස දෙනෙක් පමණක් ලිපිය රැගෙන ගමන් කිරීමට එකග වූ නමුත් යළිත් සියලු සාමාජිකයින් පාගමනින් මුදල් අමාත්‍යාංශය වෙත ගමන් කළේය.

ඉන් අනතුරුව පිරිස ලෝටස් මාර්ගය අසලට පැමිණි විට යළිත් පොලීසියෙන් බාධා එල්ල විය.

ඒ අනුව වෘත්තීය සමිති නායකයින් කිහිපදෙනෙක් පමණක් ලිපිය රැගෙන මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හමුවීමට ගියේය.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයද ඊයේ (06) දහවල් රෝහල ඉදිරිපිට විරෝධතාවක නිතර විය.

ඒ පවතින ඖෂධ හිඟය, ණය පොලී වැඩි කිරීම සහ රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පල කිරීම ඇතුළු කාරණා කිහිපයක් මුල් කරගනිමිනි.

මේ අතර බදු සංශෝධනයට එරෙහිව මහජනතාව දැනුවත් කරමින් අද ස්ථාන කිහිපයකදී අත්පත්‍රිකා බෙදා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණි.