ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රකාශයට මැතිවරණ කොමිසමේ කනගාටුව

0
Nimal Punchihewa - ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රකාශයට මැතිවරණ කොමිසමේ කනගාටුව

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වගකීම් විරහිත ප්‍රකාශය සම්බන්ධයෙන් කොමිෂන් සභාව කනගාටුවට පත්වන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී.පුංචිහේවා මහතා සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට අවශ්‍ය ගැසට් නිවේදනය, මැතිවරණ කොමිෂන් සභාව විසින් රජයේ මුද්‍රණාලය වෙත යොමු කර නොමැති බවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙරේදා (29) නිවේදනයක් නිකුත් කර තිබුණි.

එයට ප්‍රතිචාර දක්වමින් මැතිවරණ කොමිසම ඊයේ (30) මාධ්‍ය හමුවක් පැවත්විය.

2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම එළඹෙන මාර්තු 09 වැනිදා පැවැත්වෙන බව නිවේදනය කෙරෙන ගැසට් පත්‍රයට අදාළ සියලු ලේඛන දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර තිබේ.

ඒ අනුව මාර්තු 09 වැනිදා දිනය සහිත ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කිරීම සඳහා එම ලේඛන රජයේ මුද්‍රණාලය වෙත යොමුකළ බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී.පුංචිහේවා මහතා වැඩිදුරටත් පැවසීය.

“රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වැනි වගකීම් සහිත නිලයක් දරන කෙනෙකුගේ වගකීම් විරහිත ප්‍රකාශය ගැන කොමිෂන් සභාව කනගාටුවට පත්වෙනවා. ගැසට් පත්‍රය නිකුත් කිරීම ඒ ඒ තෙරීම්භාර නිලධාරීන්ගේ වගකීමක්. ඒක මැතිවරණ කොමිසමේ සභාපති හෝ සාමාජිකයෝ අත්සන් කරන්න ඕනේ නෑ. ඒ අය තමයි අත්සන කරන්නේ. සියලුම අපේක්ෂකයන්ගේ නම් ඔවුන් තරග කරන කොට්ඨාස ඒ ඒ තියන සලකුණු මේ ඔක්කෝමත් එක්ක සකස්කරලා තමයි ගැසට් කරන්නේ. මේක ඉතිහාසයේ ඉදලා පළාත් පාලන මැතිවරණයේ එන ක්‍රියාවලිය. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා අඩුවශයෙන් මේ කියන ක්‍රියාවලිය නොදැන සිටීම හරිම කනගාටුවට කරුණක්. ඔහුගේ නොදැනුවත්කම ගැන අපිට කනගාටුවීම තමයි කරන්න තියෙන්නේ.”

ප්‍රශ්නය – ඔබතුමාලාට දිගින් දිගටම තර්ජන එනවා. තාමත් කවුරුත් ඒ සම්බන්ධයෙන් සැකපිට හඳුනාගෙන නැති බව සඳහන් කරලා තිබෙනවා.

පිළිතුරු – මාධ්‍යයෙන් එහෙම කියලා තිබුණා මේක විදේශතව ඉන්න කෙනෙක්ගේ දුරකථනයක් කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ කළා කියලා මං දැක්කා. ඒකත් එක්ක අපිට ගැටලුවක් එනවා දැන් අපේ දිවාරත්න කියල සාමාජික කොමසාරිස්තුමාගේ ගෙදරට ගිහිල්ලා පාන්දර එකයි ගානට වාහනේ ෆොටෝ එවලා තිබුණා. දුරකථනයේ ඉන්න පුද්ගලයා විදේශ පුළුවන්. නමුත් අර කාරණේ බැලුවානම් CCTV බැලුවානම් කවුද මේ වෙලාවේ ඇවිල්ලා තියෙන්නේ කියලා .ගේට්ටුවෙන් පැනලද කියලා බැලුවානම් සමහරවිට ඒක පරික්ෂා කරා නම් මෙහෙ එකට සම්බන්ධ අය සොයාගැනීමට හා ඒ විමර්ශනය තුළ අනිත් අය පිළිබඳ අදහස් ගැනීමේ අවස්ථාව තිබුණා.ඒකට සම්බන්ධ අය සොයා ගැනීමට සහ විමර්ශනය තුළ අනිත් අය ගැන අදහසක් ගන්න පුළුවන්. නම් ඊට වඩා විමර්ශන කටයුතු වේගවත් සහ කාර්යක්ෂමවිය යුතුයි කියන එක තමයි කොමිෂන් සභාවට පෙනීයන්නේ.

ප්‍රශ්නය – තාමත් ජනතාව අතර පොඩි සැකයක් තිබෙනවා මාර්තු 9 වැනිදා ඡන්දේ තියයිද කියලා ස්ථීර වශයෙන්ම.

පිළිතුරු – මම ජ්‍යෝතීර්වේදියෙක් නෙවෙයි. කොමිෂන්සභාව නියම කරලා තිබුණ දිනයට ඡන්දය පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සිදුකරමින් යනවා.”