ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනමක්

0
Danushka Gunathilaka - ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඕස්ට්‍රේලියානු අධිකරණයේ පවතින නඩුවේ තීන්දුවක් ලැබෙන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුට දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමකට ලක් කරන ලෙස නීතිපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයාට නිර්දේශ කර තිබේ.

පංච පුද්ගල කමිටුවක් ඉදිරිපත් කළ වාර්තාවට අනුව නීතිපතිවරයාගේ නිර්දේශය තමන්ට ලැබී ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඩේලි මිරර් පුවත් සේවය වෙත ප්‍රකාශ කළේය.
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වී ඇති චෝදනා කිහිපයක් විමර්ශනය කිරීමේ වාර්තාව පසුගිය සතියේ නීතිපති සංජය රාජරත්නම් වෙත යොමු කර තිබේ.

විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව ශ්‍රී ලංකා පිලේ ඔස්ට්‍රේලියානු සංචාරයේදී කළ වියදම් පිළිබඳ පූර්ණ පරිමාණ වෝහාරික විගණනයක් නිර්දේශ කළේය.

ලිංගික අතවර චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ සිද්ධිය, චාමික කරුණාරත්නගේ විනය කඩකිරීම, ජාතික ක්‍රිකට් කණ්ඩායමට ‘බෝර්න් අගෙන්’ නිකායේ බලපෑම සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ කරුණු ඇතුළු තවත් කරුණු මෙම වාර්තාවෙන් ආවරණය කෙරේ.

අමාත්‍යවරයා කියා සිටියේ කමිටුවේ නිර්දේශවලට නීතිපතිවරයා එකඟ වූ බවයි.

ඒ අනුව ධනුෂ්ක ගුණතිලකට දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලට සහභාගිවීම තහනම් වන අතර කමිටු වාර්තාව වෝහාරික විගණනය සඳහා විගණකාධිපතිවරයා වෙත යොමු කිරීමට නියමිතය.

31 හැවිරිදි ධනුෂ්ක T20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට ඕස්ට්‍රේලියාවට ගොස් සිටියදී පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ආලය යෙදුම වන Tinder හි මුණගැසුණු කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා හතරක් යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන මෙ වන විට ඇප මත නිදහස්ව තිබේ.
කෙසේ වෙතත් ධනුෂ්කට ඔස්ට්‍රේලියාවෙන් පිටවීම තහනම් කර තිබේ.