මැතිවරණයට මුදල් දීම අභියෝගයක්

0
Case of Election in Court - මැතිවරණයට මුදල් දීම අභියෝගයක්

රාජ්‍ය ආදායම් උත්පාදනය පහත වැටී අත්‍යවශ්‍ය සේවාවන් වෙනුවෙන් පවා මුදල් වෙන් කිරීම අපහසු තත්ත්වයක් උද්ගතව තිබෙන මෙම අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීමට සිදු වුවහොත් ඊට අවශ්‍ය අමතර මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීම මහා භාණ්ඩාගාරයට දැඩි අභියෝගයක් වනු ඇති බවත් ඒ තුළින් ආර්ථික අර්බුදය වඩාත් අයහපත් තත්ත්වයකට පත් වන බවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබෙන මෙම අවස්ථාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අත් හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු වන ඩබ්ලිව්. එම්.ආර්. විජේසුන්දර මහතා ගොනු කළ රිට් පෙත්සමට අදාළව දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දීම සිදුකර තිබේ.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සම තුළින් සඳහන් කර තිබෙන්නේ කොවිඩ් වසංගතය තත්ත්වයෙන් අනතුරුව 2021 වසරේ මෙරට අපනයන ආදායම සියයට 8.2 කින් පහත වැටුණු බවයි.

එහි ප්‍රතිඵලයක් ලෙස 2021 වසරේ අයවැය පරතරය සියයට11.6 කින් ඉහළ ගිය බවත් ඔහු පෙන්වා දෙයි.

රාජ්‍ය වැටුප් ගෙවීම සඳහා මාසිකව රුපියල් බිලියන 90 ක් ද විශ්‍රාම වැටුප් හා සමෘද්ධි දීමනා ගෙවීම සඳහා රුපියල් බිලියන 28 ක් ද ඖෂධ, පොහොර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා තවත් බිලියන 28 ක් ද වැය කිරීමට සිදුවන බව පෙන්වා දෙන මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා රාජ්‍ය ආදායම බරපතළ ලෙස කඩා වැටීම හේතුවෙන් එම අත්‍යවශ්‍ය කටයුතු පවා ඉටු කර ගැනීමට දැඩි අපහසු තත්ත්වයක් උද්ගතව තිබෙන බවත් කියා සිටී.

ඊට අමතරව 2022 වසරේ පොලී ගෙවීම සඳහා රුපියල් බිලියන 114 කට ආසන්න මුදලක් ද ණය ගෙවීම සඳහා රුපියල් බිලියන 169 ක පමණ මුදලක් ද වැය කිරීමට සිදු වූ බවත් එම දිවුරුම් පෙත්සමේ සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ දර්ශකයන්ට අනුව ශ්‍රී ලංකාව පහත හෙළීමක් සිදුකර ඇති නිසා ජාත්‍යන්තර වෙළෙඳ පොළෙන් අරමුදල් සම්පාදනය කර ගැනීම ද අපහසු තත්ත්වයක් උද්ගතව තිබෙන බවත් එම නිසා අරමුදල් සම්පාදනය කර ගැනීමේ දී බැංකු නොවන මූලාශ්‍රවලින් අධික පොලී අනුපාත යටතේ අරමුදල් සම්පාදනය කර ගැනීමට සිදුවනු ඇති බවත් එහි සඳහන් කොට ඇත.

මේ හේතුවෙන් බදු හා බදු නොවන ආදායම්වලින් අරමුදල් සම්පාදනය කර ගැනීමට රජය පියවර ගෙන ඇති අතර අයහපත් මූල්‍ය තත්ත්වය අවම කිරීම උදෙසා අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතනවල වියදම් පාලනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් මෑතකදී චක්‍ර ලේඛ දෙකක් නිකුත් කිරීමට පියවර ගත් බවත් එම දිවුරුම් පෙත්සමේ සඳහන් කර තිබේ.

මේ රාජ්‍ය වැටුප් ගෙවීමට පවා අපහසු තත්ත්වයක් උද්ගත වී ඇති හෙයින් රාජ්‍ය සේවක වැටුප් දින දෙකක දී කොටස් දෙකකින් ගෙවීමට පසුගියදා අමාත්‍ය මණ්ඩලය යෝජනාවක් සම්මත කර ගත් බවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සිය දිවුරුම් ප්‍රකාශයෙන් පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ගොඩ නැගීමට රජය සැලසුම් කරමින් සිටින මෙම අවස්ථාවේදී රට තුළ දේශපාලන ස්ථාවරභාවය පවත්වා ගැනීම ඉතා වැදගත් බවත් ඊට විවිධ බාධා එල්ල වීම නුසුදුසු බවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ දිවුරුම් පෙත්සමේ සඳහන් කර තිබේ.

අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පවා මුදල් වෙන් කිරීම අපහසු තත්ත්වයක් නිර්මාණය වී තිබෙන මෙම වකවානුවේ වියදම් කටයුතු සඳහා මුදල් වෙන් කිරීම ඉතා කල්පනාකාරීව සිදු කිරීමට සිදුව ඇති බවත් මෙම අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වීමට සිදු වූවොත් ඒ සඳහා අවශ්‍ය අමතර මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීම භාණ්ඩාගාරයට දැඩි අභියෝගයක් වනු ඇතැයිද මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සිය දිවුරුම් ප්‍රකාශයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.