මැතිවරණයට ආණ්ඩුවෙන් බාධාවක් නෑ

0
Wijedasa Rajapaksa - මැතිවරණයට ආණ්ඩුවෙන් බාධාවක් නෑ

පළාත් පාලන ආයතන ඡන්දය පැවත්වීමට මැතිවරණ කොමිසමට ඇති බලයට ආණ්ඩුව කිසිදු බාධාවක් සිදුනොකරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මේ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පතට අදාළ තරුණ නියෝජනය වැඩි කිරීම පිළිබඳව වාර්තාවක් අද සභාවට ඉදිරිපත් කළේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,

“මෙතුමාගේ මේ පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනාව ඉදිරිපත් කරන්න මාස 6කට කලින් ඒ යෝජනාව ඉම්තියාස් බාකීර් මාකර් මහතා ගෙනාවා. ඒක පස්සට දාලා. අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය ඒක පස්සට දාලා මම කණගාටුවෙනවා මේ නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරපු මෙතුමාගේ යෝජනාව ඉස්සරහට ගත්තා. ඉතාමත් නින්ධිත ක්‍රියාවක්.”

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා,

“ඡන්දය කල්දාන්න ගහන ගුණ්ඩුවක්. ඡන්දවලට බය දෙගොල්ලක් තමයි එහා පැත්තේ ඉන්නේ.”

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා,

“දොළවත්ත මන්ත්‍රීවරයාගේ යෝජනාවට අපි කවුරුත් පක්ෂපාතීයි. හැබැයි ඒ සියල්ල වලංගු වෙන්නේ මේ මැතිවරණයට නෙමෙයි. මොකද මේ මැතිවරණය වලංගු කරගැනීම සඳහා අවස්ථාවක් නැහැ. නාමයෝජනා කැඳවීම ප්‍රකාශයට පත්කරලා තිබෙනවා. ඒ නාමයෝජනාවල අවලංගුව වෙනස් කිරීම සඳහා මේ පාර්ලිමේන්තුව නීති සම්පාදනය කරනවානම් ඒක ඉතාමත් විහිළු ජනක තත්ත්වයක්.”