අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඒ නවය ගත් සිසුවාට ගිනි තියලා

0
O/L Passed Student on Fire - අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඒ නවය ගත් සිසුවාට ගිනි තියලා

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඒ සමාර්ථ නමයක් සමඟ විභාගය සමත් වූ බෙරවඩ්ස් විදුහලේ සිසුවකුගේ සිරුරට භූමිතෙල් ඉස ගිනි තැබීම නිසා එම සිසුවා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මහනුවර මූලස්ථාන පොලීසිය කියයි.

තමා ලැබූ ජයග්‍රහණය සිය මිත්තණියට පවසා ආපසු පියා සමග ආපසු එමින් සිටියදී එම සිද්ධියට මුහුණ දී ඇති බව පොලීසිය කියයි.

අම්පිටිය පල්ලේගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එම සිසුවා මුහුණ දුන් බිහිසුණු සිදුවීමෙන් ඔහුගේ හිස ප්‍රදේශයෙන් පහළ ප්‍රදේශයට බරපතළ තුවාල සිදුවී ඇති බවත් ඔහුට සැත්කමක්ද සිදුකර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අම්පිටිය ප්‍රදේශයේ කාලයක සිට ක්‍රියාත්මක මැර කල්ලියක් මෙම බිහිසුණු ක්‍රියාව සිදුකොට ඇති බවට චෝදනා කරන ප්‍රදේශවාසීන් මැර කල්ලියට ඇති බිය නිසා සිසුවා ගේ පවුලේ උදවිය ඔවුන් පිළිබඳ තොරතුරු හෙළි කිරීමක් සිදු නොකරන බවට ද චෝදනා කර සිටි.

හෙරොයින් අයිස් ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම වටා ක්‍රියාත්මක මැර කල්ලියක් කාලයක සිට අම්පිටිය ප්‍රදේශයේ විවිධ අපරාධ සිදුකරමින් සිටින බවත් ඔවුන් පිළිබඳ කෙතරම් පොලිසියට තොරතුරු ලබා දුන්නත් පලක් නොවන බවත් තොරතුරු ලබා දෙන්නන් ගෙ තොරතුරු අපරාධ කරුවන්ට ලබා දීමට ඇතැම් පොලිස් නිලධාරීන් ක්‍රියා කරන බවට ද ප්‍රදේශවාසීහු චෝදනා කර සිටීති.