ඔරුවක් පෙරළීයෑමෙන් අතුරුදන්වූ ගැහැනු ළමුන් තිදෙනාගෙන් දස හැවිරිදි දැරියගේ සිරුර සොයාගනී

0
Missing Girls - ඔරුවක් පෙරළීයෑමෙන් අතුරුදන්වූ ගැහැනු ළමුන් තිදෙනාගෙන් දස හැවිරිදි දැරියගේ සිරුර සොයාගනී

සූරියවැව මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරළීයෑමෙන් සිදුවූ අනතුරකින් අතුරුදන්වූ ගැහැනු ළමුන් තිදෙනාගෙන් 10 හැවිරිදි දැරියගේ සිරුර සොයාගෙන තිබේ.

සූරියවැව මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරළීයෑමෙන් සිදුවූ අනතුරකින් ගැහැනු ළමුන් තිදෙනෙකු අතුරුදන් වූ අතර අනතුර සිදුවන අවස්ථාවේ ඔරුවේ පුද්ගලයින් 8 දෙනෙකු ගමන් කර තිබුණි.

ඔරුවේ ගමන් කළ බිලිඳෙකු ඇතුළු 5 දෙනෙකුව එම අවස්ථාවේදීම බේරාගැනීමට ගම්වාසීන්ට හැකිවිය.

දියේ ගිලී බේරාගත් මාස 8ක බිලිඳාගේ තත්ත්වය බරපතළ නොවන බවට වාර්තා වෙන බව පොලීසිය පවසයි.

ඒ අනුව මේ වනවිට අතුරුදන් වී ඇත්තේ 18 සහ 17 යන වයස්වල පසුවූ ගැහැනු දරුවන් දෙදෙනාය.

මෙම පිරිස කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවත් ඥාතියෙකුගේ උත්සවයක් සඳහා මෙම ප්‍රදේශයට පැමිණ සිට ඇති බවටත් පොලීසිය පවසයි.

මසුන් ඇල්ලීම සඳහා භාවිත කරන කුඩා ඔරුවක පුද්ගලයින් 08 දෙනෙකු ගමන් කිරීම නිසා මෙම අනතුර සිදුවූ බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

ඔරුව පෙරළීගොස් ඇත්තේ වැව මැදදී බවද පොලීසිය සඳහන් කළේය.