වඳුරු උණ රෝගය මිනිසාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය තුළින්ම පාලනය කරගැනීමට හැකි තත්ත්වයක් පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මේ සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් වෙනුවට රෝග ලක්ෂණවලට ප්‍රතිකාර දීම සිදුකෙරෙන බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා,
“මේක හැදුනාම ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය තුළින්ම මේක පාලනය කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඊට අමතරව බොහෝවිට නිශ්චිත ප්‍රතිකාරයකට වඩා තියෙන්නේ. රෝගියාට ඇතිවන රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කිරීමක් තමයි සිද්ධවෙන්නේ. බොහොම වගකීමකින් කියන්නට පුළුවන් මේ පුද්ගලයා හරහා අපේ ප්‍රජාවට බෝවීමේ කිසිම ඉඩකඩක් දැනට තියෙන තත්ත්වය අනුව කිසිම අවකාශයක් නෑ.”
ශ්‍රී ලංකාවෙන් පළමුවරට වඳුරු උණ ආසාදිතයෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ තහවුරු කළේය.
ඒ ඩුබායි සිට මෙරටට පැමිණි 19 හැවිරිදි තරුණයෙකුය.
මේ තරුණයා දිවයිනට පැමිණ තිබුණේ ඉකුත් නොවැම්බර් 01 වනදාය.
රෝග ලක්ෂණ කිහිපයක් මතුවීම නිසා ඔහු වෛද්‍ය සායනයකට යොමු වී තිබුණි.
එහිදී ඔහු ගැන සැක පළකළ වෛද්‍යවරු, ඔහුගේ සමෙහි තුවාළවලින් ලබාගත් සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත නොවැම්බර් 02 වනදා යොමු කර තිබුණි.
කඩිනම් පරීක්ෂණයකින් පසු එම ආයතනය ඔහු මන්කිපොක්ස් ආසාදිතයෙකු බව තහවුරු කර ඇත.
මෙලෙස ශ්‍රී ලංකාවෙන් මන්කිපොක්ස් ආසාදිතයෙකු වාර්තා වුණේ ලෝක සෞඛ්‍ය සංවිධානය එය ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර මාස 03කට පමණ පසුවය.
මේ වසරේ රටවල් 109කින් මන්කිපොක්ස් ආසාදිතයින් 73,000කට වැඩියෙන් හඳුනාගෙන ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර ඇති මරණ ගණන 29කි.
ඩුබායි සිට මෙරටට පැමිණි 19 හැවිරිදි තරුණයා මන්කිපොක්ස් ආසාදිත බවට හඳුනාගැනීමෙන් පසු ප්‍රතිකාර ලබාදීම සඳහා ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කර තිබේ.
ආසාදිතයාගේ ආශ්‍රිතයින් මේ වනවිට නිරෝධායනයට ලක් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
මන්කිපොක්ස් රෝගයේ මූලික ලක්ෂණ ලෙස තද උණ, ලිංගික අවයවවල සහ ශරීරය පුරා පැතිර යන බිබිලි සමග වසාගැටිති ඉදිමුම හඳුනාගත හැකිය.
මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ වෛරසය පළමු වරට හඳුනාගැනෙන්නේ 1958 වසරේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන්හි රසායනාගාර පරීක්ෂණ සඳහා යොදා ගැනුණු වඳුරු විශේෂ අතරිනි.
පසුව 1970 වසරේදී පළමුවරට මිනිසුන්ට ද එම වෛරසය වැළඳෙන බවට තහවුරු වෙමින් කොංගෝ ජනරජයෙන් ආසාදිතයින් වාර්තා වී තිබුණි.
කෙසේවෙතත් ඒ වනවිට ලොවපුරා ක්‍රියාත්මක කළ වසූරිය මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ මන්කිපොක්ස්වලට එරෙහිව ද ප්‍රතිශක්තිය ලැබීම හේතුවෙන් වෛරසයේ ගෝලීය පැතිරීමක් වාර්තා වී නොතිබුණි.
සාමාන්‍යයෙන් මන්කිපොක්ස් වෛරසය මධ්‍යම හා බටහිර අප්‍රිකානු කලාපයේ රාජ්‍යයවලට පමණක් සීමා වී තිබූ වසංගතයකි.
නමුත් එම තත්ත්වය උඩු යටිකුරු කරමින් මේ වසරේ එක්සත් රාජධානියෙන් ආසාදිතයෙකු වාර්තා වන්නේ පසුගිය මැයි මස 06 වනදායි.
ඉන්පසු මන්කිපොක්ස් පැතිරීමේ කේන්ද්‍රස්ථානය බවට යුරෝපය පත්කරමින් ජර්මනිය,නෙදර්ලන්තය,නෝර්වේ, ස්පාඤ්ඤය ඇතුළු රටවලින් ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගියේය.
ඉකුත් ජුලි මාසයේදී ඉන්දියාවෙන්ද මන්කිපොක්ස් ආසාදිතයින් සිව්දෙනෙකු සහ එක් පුද්ගල මරණයක් වාර්තා වුණි.
නමුත් දකුණු ආසියාතික රටවලින් සමස්තයක් ලෙස වාර්තා වී ඇති රෝගීන් ගණන 23කි.