පොහොට්ටු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඇමැති ධූර ගැන ජනාධිපතිවරයා සමග තීරණාත්මක සාකච්ජාවක

0
SLPP Mps Discuss with President - පොහොට්ටු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඇමැති ධූර ගැන ජනාධිපතිවරයා සමග තීරණාත්මක සාකච්ජාවක

පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අතර ඊයේ දහවල් පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වී තිබෙනවා.

මෙම හමුවේ දී නව කැබිනට් අමාත්‍ය ධූර පත් කිරීම සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක සාකච්ජාවක් සිදුව ඇති බවයි දැනගන්නට ඇත්තේ.

ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී රටේ පවතින ආර්ථික තත්ත්වය සහ අයි.එම්.එෆ් සාකච්ඡාවන්හි ප්‍රගතිය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කළ අතර මෙම විශේෂ සාකච්ඡාව සිදුවී ඇත්තේ ජනාධිපතිවරයාගේ එම විශේෂ ප්‍රකාශයෙන් අනතුරුවයි.

මෙම සාකච්ජාව ‌සදහා පොහොට්ටු පක්ෂයේ මේ වනවිට අමාත්‍ය ධූර හිමි වී නොමැති ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් වන එස්.බී. දිසානායක, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුලු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

මෙම මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන අවස්ථාවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක නිරත ව සිට ඇති අතර මෙම කණ්ඩායම ඔහුගේ සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපතිවරයා මුණ ගැසී ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් මෙම කණ්ඩායමේ එක් නියෝජිතයෙක් ජනාධිපතිවරයා වෙත පවසා ඇත්තේ අදාළ සාකච්ඡාව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා නොමැතිව සිදුකල යුතු බවටයි.

ඒ අනුව ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාව අතරමග නවතා දමා බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයෙන් පිටව ගිය බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා වෙත අදහස් ප්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක පවසා ඇත්තේ පාර්ලිමේන්තුව හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ තනතුරට පත් කිරීමට පොහොට්ටු මන්ත්‍රීවරුන් දැඩි කැපවීමක් කළ බවයි.

එවැනි තත්ත්වයක් තිබියදී පොහොට්ටුවේ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරුන්වරුන් පිරිසකට මෙතෙක් අමාත්‍යධුර ලබා නොදීම සම්බන්ධයෙන් ඔවුන්ගේ දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පවසා ඇත්තේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පස්දෙනකු තමන් හා එක්වී අමාත්‍ය ධුර ලබාගැනීමට සූදානමෙන් සිටීම හේතුවෙන් මෙම පත් පත් කිරීම් කල් ගිය බවයි.

එහිදී ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට විරෝධය පළ කර ඇති පොහොට්ටු මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ මේ අවස්ථාවේදී කිසිදු සමගි ජන බලවේග මන්ත්‍රීවරයකු ආණ්ඩුවට එක් නොවන බවට සහතික වශයෙන්ම කිව හැකි බවයි.

එබැවින් තවදුරටත් කල් නොමරා පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් කැබිනට් මණ්ඩලයේ පුරප්පාඩු වී ඇති ඉතිරි අමාත්‍යධූර සම්පූර්ණ කරන ලෙස මෙම මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම මෙම සාකච්ඡාවේදී මේ වන විට තනතුරු ලබාදී ඇති කැබිනට් අමාත්‍යවරුන් සම්බන්ධයෙන් පොහොට්ටු ජ්‍යේෂ්ඨයන් අප්‍රසාදය ද පළකර ඇති අතර එයට පිළිතුරු වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දී ඇත්තේ අදාළ පත් කිරීම් බොහොමයක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිදුකරන ලද ඒවා බවයි.

තමන් සිදුකළේ එම පත් කිරීම් තව දුරටත් ඉදිරියට ගෙන යාම පමණක් බවත් මෙහිදී ජනාධිපතිවරයා අදාළ මන්ත්‍රී කණ්ඩායමට අවධාරණය කර තිබෙනවා.

මෙම සාකච්ඡාවේදී වහාම පුරප්පාඩු වූ අමාත්‍ය ධූර සම්පූර්ණ කරන ලෙස අදාළ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාට දැනුම් දීමට පියවර ගෙන ඇති අතර පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් එතරම් සාධනීය ප්‍රතිචාරයක් හිමි නොවූ බවයි.