ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 5ක ජයක්

0
SL vs PAK in Asia Cup - ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 5ක ජයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමග ඊයේ පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

තරගය පැවැත්වුණේ ඩුබායිහිදීයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 121ක් ලබාගත්තා.

පාකිස්ථාන ඉනිමේ පළමු කඩුල්ල ලෙස මොහොමඩ් රිස්වාන් දැවී ගියේ ලකුණු 14ක් ලබා සිටියදීයි.

ඒ ප්‍රමෝද් මදුෂාන්ගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් ලබාදෙමින්. දෙවන කඩුල්ල ලෙස ෆක්හර් සමාන් දැවී ගියේ ලකුණු 13ක් ලබා සිටියදී.

ලකුණු 30ක් ලබා සිටියදී බාබර් අසාම් පිටියෙන් ඉවත් කිරීමට වනිඳු හසරංගට හැකියාව ලැබුණා. කුෂ්ඩිල් ශාහ් ලකුණු 4ක් ලබා සිටියදී ධනංජය ද සිල්වාගේ පන්දුවකට පැතුම් නිස්සංක අතට උඩ පන්දුවක් ලබා දෙමින් පිටියෙන් ඉවත් වුණා.

වනිඳු හසරංග යැවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීමෙන් ඉෆ්තිකාර් අහමඩ් දැවී ගියේ ලකුණු 13ක් ලබා සිටියදී.

එමෙන්ම පිටියට පිවිසි අසීෆ් අලි කිසිදු ලකුණක් නොලබා ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට වනිඳු හසරංග සමත්වුණා. තම පන්දුවාර 4 තුල ඔහු දවාගත් කඩුලු සංඛ්‍යාව 3ක්.

ඊට අමතරව වනිඳු හසරංග විසින් උඩ පන්දුවක් ලබා ගනිමින් කිසිදු ලකුණක් නොලබා සිටි හසන් අලි 7 වන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් කළා. ඒ මහීෂ් තීක්ෂණගේ පන්දු වාරයකදීයි.

මහීෂ් තීක්ෂණගේ තවත් පන්දුවකින් උස්මන් කදීර් ලකුණු 3ක් ලබා සිටියදී දැවී ගියේ පැතුම් නිස්සංක අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

මොහොමඩ් නවාස් ලකුණු 26යි. මහීෂ් තීක්ෂණ සහ ප්‍රමෝද් මදුෂාන් කඩුලු දෙක බැගින් දවා ගත්තා.

පාකිස්ථාන ඉනිම අවසානයේ ශ්‍රී ලංකාවට හිමිවූ ඉලක්කය ලකුණු 122ක්.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.

දෙවන කඩුල්ල ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු දෙකක්ව තිබියදී ධනුෂ්ක ගුණතිලක කිසිදු ලකුණක් නොලබා පිටියෙන් ඉවත් කිරීමට පාකිස්ථාන පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

තුන්වන කඩුල්ල ලෙස ධනංජය ද සිල්වා ලකුණු 9කට දැවී ගියා. ඒ හැරිස් රාවුෆ්ගේ පන්දුවකින් බාබර් අසාම් අතට උඩ පන්දුවක් ලබාදෙමින්.

භානුක රාජපක්ෂ ලකුණු 24යි.

ආසියානු කුසලාන තරගාවලියේ පාකිස්ථානය සමග පැවැත්වෙන තරගයේදී තම 6වන අර්ධ ශතකය ලබා ගැනීමට ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත් වුණා. ඔහු මෙම ලකුණු 50 ලබාගත්තේ පන්දු 41කින්.

ඔහු නොදැවී ලකුණු 55ක් ලබාගත්තා. නායක දසුන් ශානක 24යි.

පන්දුවාර 17ක් අවසානයේ ශ්‍රී ලංකාව ජයග්‍රාහී ඉලක්කය පසු කළා.