ශිවන්යා සොයා ඉන්දියා යන්න ගිය දැරියන් මව්පියන්ට භාරදෙයි

0
Girls who tried to go to India in search of Shivanya are handed over to their parents - ශිවන්යා සොයා ඉන්දියා යන්න ගිය දැරියන් මව්පියන්ට භාරදෙයි

රූපවාහිනි නාලිකාවක දිනපතා විකාශය වන ප්‍රසිද්ධ ඉන්දියානු ටෙලි නාට්‍යයක චරිත දෙකක් වන ශිවන්යා සහ ෂේෂා සියසින් දැක බලා ගැනීම සදහා ඉන්දියාවට යාමට නිවසෙන් පැන ගිය ගැහැණු දරුවන් තිදෙනකු හොරොව්පොතාන නගරයේ දී ඊයේ (31) දහවල් සොයාගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.

දරුවන්ගේ දෙමාපියන් විසින් පොලිසියට සිදුකරණ ලද පැමිණිල්ලකට අනුව සිදුකරන ලද විමර්ශනයකදී එලෙස පොලිස් භාරයට ගනු ලැබුවේ හොරොව්පොතාන, පහල කුබුගොල්ලෑව,ඉදිපිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 8, 12, සහ 13 යන වයස් සීමාවන්වල පසුවන ගැහැනු දරුවන් තිදෙනෙකි.

ඊයේ (31) අලුයම 4:30 ට පමණ මෙම දරුවන් දෙමව්පියන්ට හොරෙන් නිවසින් පැන ගොස් ඇති බව පොලිසිය කියයි.

නිවසේ සිට කිලෝමීටර් දෙකක් පමණ වල් අලි ගහන කැලෑවක් මැදින් දිවෙන මාර්ගයක වැලිමුවපොතාන හන්දිය දක්වා පාගමනින් පැමිණ ඇති දරුවන් එතනදී ත්‍රිකුණාමලය සිට යාපනය බලා ගමන් කළ ලංගම බස් රථයකට අළුයම පහයි හතළිස් පහට පමණ ගොඩ වී ඇති බව පොලීසිය කියයි.

පසුව එම බස් රථයෙන් කැබිතිගොල්ලෑව නගරයට පැමිණි ඇති දරුවන් යළි කැබිතිගොල්ලෑවේ සිට කහටගස්දිගිලිය නගරය දක්වා දිවෙන බස් රථයකින් කහටගස්දිගිලිය නගරයට පැමිණ තිබේ. මාර්ගය වැරදුනු බව දැනගත් ඔවුන් යළිත් කාහටගස්දිගිලිය නගරයෙන් හොරොව්පොතාන බලා දිවෙන බස් රථයකය නැග හොරොව්පොතාන නගරයට පැමිණ යාපනයට යෑම සදහ යාපනය බස් නවත්වන ස්ථානයෙ සිටියදී ඊයේ (31) දහවල් 10:30 ට පමණ පොලීසිය විසින් සොයාගෙන තිබේ.

කලක සිට ශිවන්යා බැලීමට තමන් සැලසුම් කර තිබුණ බවත් ඔවුන් සිටින්නේ ඉන්දියාවේ බැවින් ඉන්දියාවට යෑමට ආසන්නම නගරය යාපනය බව යහලුවෙකු පැවසූ නිසා මුලින්ම යාපනය නගරයට ගොස් බෝට්ටුවකින් ඉන්දියාවට යාම තම අරමුණ වූ බවත් පොලිස් භාරයට ගත් දරුවන් ප්‍රශ්න කිරීමේ දී පවසා ඇත. ඊට පෙර දෙමවුපියන්ගේ ඡංගම දුරකතන භාවිත කර ඉන්දියාව පිහිටි ස්ථානය පිළිබඳ අවබෝධයක් තමන් ලබා සිටි බවද පවසා ඇති ඔවුන් ඒ සඳහා දීර්ඝ කාලයක සිට මුදල් එකතු කර ලග තාබාගෙන සිටි බවද පොලිසියට පවසා තිබේ.

පොලිස් භාරයට ගත් දරුවන් ඔවුන්ගේ දෙමව්පියන් ගෙන්වා දැඩිව අවවාද කිරීමෙන් පසු යලි භාර දිමට කටයුතු කර තිබූණි.