ජනවාරි,පෙබරවාරි මාසවල රට බැරෑරුම් තත්ත්වයකට පත්විය හැකි බවට අනතුරු අඟවයි

0
Upul Rohana Statement of Covid Situation - ජනවාරි,පෙබරවාරි මාසවල රට බැරෑරුම් තත්ත්වයකට පත්විය හැකි බවට අනතුරු අඟවයි

රාජ්‍ය හා පෞද්ගලික පොදු ප්‍රවාහන සේවයේදී අවම මගීන් ගෙනයන තත්ත්වය වෙනුවට උපරිම මගීන් රැගෙනයාම අතිශය කණගාටුදායක තත්ත්වයකට පත්ව ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

වැඩිදුරටත් ඔහු පවසන්නේ එසේ වුවහොත් නැවත නුදුරේදීම රට වසා අඩපණ කර යථාවත් කරගැනීමට සිදුවන බවයි.

උපුල් රෝහණ මහතා,වැඩිදුරටත් සඳහන් කරන්නේ “ජනතාවගේ හැසිරීම් එක්ක සෞඛ්‍ය උපදෙස් ඉතාම දුර්වල මට්ටමක පවතිනවා . රෝගීන් වැඩිවන ආකාරය පිළිබඳ සැලකීමේදී යම් සංචරණ සීමාවන් රටතුළ පනවා ගන්නට වේවි. එසේ නැතිවුවහොත් ජනවාරි පෙබරවාරි මාසවල ඉතාමත් බැරෑරුම් ලෙස අවාසනාවන්ත තත්ත්වයකට රට තල්ලුවෙලා යාවි” යනුවෙන්.

එමෙන්ම ඉදිරි සතිය දැඩි විමසිල්ලෙන් ජනතා ක්‍රියාකාරකම් නිරීක්‍ෂණය කර මේ වනවිට පවත්නා කනගාටුදායක තත්ත්වයද සැලකිල්ලට ගෙන ඉදිරි උත්සව සමයේදී රට වසා තබන්නේද නැතහොත් සංචරණ සීමා පනවන්නේද යන්න නිර්දේශ ඉදිරිපත් කිරීමට බිම් මට්ටමේ සේවය කරන ඉදිරිපෙළ නිලධාරීන් ලෙස පසුබට නොවන බවත් ඔහු සඳහන් කරනවා.

“අද වනවිට සෞඛ්‍ය උපදෙස් කඩ කිරීම පෞද්ගලික අංශයේ පමණක් නෙවෙයි රාජ්‍ය අංශයේ පවා සාමාන්‍යකරණයට ලක් කර තිබෙනවා.

ආරම්භයේදී යම් තරමින් සෞඛ්‍ය පුරුදු ආරක්‍ෂා කරමින් සිටියත් මේ වනවිට ජනතාව ඒ පිළිබඳ නොසලකාහැර තිබෙනවා.

යළි කොවිඩ් ආසාදිතයන් වැඩිවීමටත් මරණ සංඛ්‍යාව ඉහළ යාමටත් ඒවා හේතු වෙලා තියෙනවා. මේ අයුරින් නම් ඉදිරියට යන්නෙ අදහාගත නොහැකි තරමින් කොවිඩ් ආසාදිතයන් වැඩිවෙන එක නවත්වගන්න බැරිවෙයි” යනුවෙන්ද සඳහන් කරනවා.