මාතර අකුරැස්ස විල්පිට ප්‍රදේශයේ පදිංචි නාගරික සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂවරියක වූ ලංකා ප්‍රියදර්ශනි මෙවර සිංහල අලුත් අවුරුද්ද ගත කළේ වෙනදාටත් වඩා සතුටිනි. ඊට හේතුව විවාහ වී දරුවකු නොලබා කාලයක් සිටි ඈ මෙවර සිංහල අවුරුද්ද වන විට පස් මස් ගැබිනියක් වී සිටීමයි. පාසල් වියේ බැඳි ප්‍රේමය මල්ඵල ගන්වමින් මහේෂ් ධර්මප්‍රිය සමඟ විවාහ වූ ලංකා කිරිකැටියකුගේ සිහිනය සැබෑ කර ගැනීමට බොහෝ කාලයක් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වූවාය. අවසානයේදී ඔවුන් නළ දරු උපතකට යොමු වූයේ සිය ප්‍රාර්ථනාව කෙසේ හෝ මුඳුන්පත් කර ගැනීමටය. කලලය කුසෙහි තැන්පත් කිරීමෙන් අනතුරුව මෝරා වැඩෙන දරු ගැබ ඈ ආරක්ෂා කළේ මැණිකක් රකිනා නාගයකු පරිද්දෙනි.
එහෙත් සිංහල අලුත් අවුරුද්ද අවසන් වීමත් සමඟ අප්‍රේල් 16 වැනිදා වෛද්‍යවරයකු හමුවීමට ගියේ ඇයට සෙම තත්ත්වයක් ඇති වූ නිසාය. ඇයට සුවයක් නොලැබූ බැවින් නැවතත් අප්‍රේල් 21 වැනිදා මාතර පුද්ගලික රෝහලකට ගියේ විශේෂඥ වෛද්‍යවරයකු හමු වී නේවාසික ප්‍රතිකාර ගැනීමේ අපේක්ෂාවෙනි. එහිදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් සිදු කිරීමට නියම විය. එයින් ඇයට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු විය. ලංකා විදුලිබල මණ්ඩලයේ සේවයේ නියුතු ඇගේ සැමියාට ද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සිදු කළ විට ඔහු ද ආසාදිතයකු ලෙස හඳුනා ගැනිණි. ඉන්පසුව ලංකා කඹුරුගමුව රෝහලටත් මහේෂ්ව හම්බන්තොට රෝහලටත් යොමු කරනු ලැබීය. ඔවුන් සමඟ නිවසේ සිටි මහේෂ්ගේ මවද කොවිඩ් 19 රෝගයට ගොදුරු වූවාය.
කඹුරුගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 45 වියැති ලංකා මුල්ලේරියාව රෝහලට මාරු කරනු ලැබුවේ ඇගේ තත්ත්වය අයහපත් වූ නිසාය. ඇගේ තත්ත්වය නරක අතට හැරුණු බැවින් දැඩි සත්කාර ඒකකයක අවශ්‍යතාව මතු විය. මුල්ලේරියාව රෝහලේ දැඩි සත්කාර ඒකකය පිරී තිබුණු බැවින් ඇයව කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කෙරිණි. යන්ත්‍රයක ආධාරයෙන් සිටි ඇගේ දරු ගැබ මැයි 02 වැනිදා ගබ්සා වූ අතර ඇයගේ අසාධ්‍ය තත්ත්වය දිනෙන් දින උත්සන්න විය. සංකූලතා හේතුවෙන් ඇය 09 වැනිදා අවසන් සුසුම් හෙළුවේ කොවිඩ් 19 වයිරසය ආසාදනය වී මිය ගිය 2 වැනි ගැබිනි මව ලෙස සනිටුහන් තබමිනි.
කොවිඩ් 19 වයිරසයට බිලි වූ ශ්‍රී ලංකාවේ පළමු මව ලෙස වාර්තා වන්නේ රාගම නාරංගොඩපාළුවේ පදිංචි වී සිටි 45 වියැති ඩිලන්ති නීලිකා ජනනන්දනීය. බොරැල්ලේ පුද්ගලික සමාගමක ලිපිකාරිනියක වූ ඈ විවාහ වී සිටියේ දේපළ වෙළඳාම් ආයතනයක රියදුරකු වන චමින්ද කුමාර ප්‍රියදර්ශන සමඟය. කුලුඳුල් දරු ප්‍රසූතියට සූදානම් වූ ඈ අධි රුධිර පීඩනය සහ දියවැඩියාව හොඳින් පාලනය කරගෙන සිටියාය. එහෙත් මඳ අසනීප තත්ත්වයක් පළ වූ බැවින් ඈ රාගම රෝහලට ඇතුළු වී තිබුණේ අප්‍රේල් 25 වැනිදාය. නේවාසික ප්‍රතිකාර ලැබූ ඇයව අප්‍රේල් 27 වැනි දින රෝහලෙන් පිට කරනු ලබන්නේ ඇගේ පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඇයට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී නැති බවට තහවුුරු වීමෙනි. එහෙත් ඇය නිවසට ගොස් පැය 2ක් යෑමට පෙර හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙළුණු බැවින් රාගම පුද්ගලික රෝහලකින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සිදු කරනු ලැබීය. එයින් අනාවරණය වූයේ ඇයට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවයි. තුන් මස් ගැබිනියක වූ ඇයව රාගමින් මිනුවන්ගොඩ රෝහලට යැවිණි. එහෙත් ඇගේ තත්ත්වය අසාධ්‍ය වීමත් සමඟ ඇයව රාගම රෝහලේ ඉහළ පරායත්තතා ඒකකයට (HDU) මාරු කළේ මැයි 05 වැනිදා පස්වරුවේය. සිය දරුවා බේරා දෙන ලෙස ඉල්ලා සිටිමින් ඒකකයට ඇතුළු වූ ඈ හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙළෙමින් සිය සැමියාට දුරකතනයෙන් කතා කිරීමට උත්සාහ කළාය. එහෙත් සියලු උත්සාහ ව්‍යර්ථ කරමින් ඈ සදහටම දෙනෙත් පියා ගත්තේ ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිත ප්‍රථම ගැබිනි මරණය ලෙස ඉතිහාසයට එක් වෙමිනි.
යනුවෙන් විස්තර කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ඉන්දු අසංක ජයවර්ධනය.
“කොවිඩ් 19 රෝගය වෛද්‍ය විද්‍යාවට අලුත් රෝගයක්. දැනට අවුරුද්දකට විතර කලින් ගැබිනි මව්වරුන්ට හැදුණා කියලා වෙනසක් නැහැ, අනිත් අයට වගේ තමයි කියලා මතයක් තිබුණා. ඒත් දැන් එය වෙනස් වෙලා. කොවිඩ් 19 වයිරසය ආසාදනය වුණාට පස්සේ සංකූලතා එන අධි අවදානම් කාණ්ඩ කීපයක් ඉන්නවා. මේ වෙනකොට ගර්භණී මව්වරුන් ඒ අධි අවදානම් කාණ්ඩයට අයිති වෙනවා. ගැබිනි මව්වරුන්ට කොවිඩ් වැලඳීමේ හැකියාව වැඩි ද කියලා නම් තවම හොයාගෙන නැහැ. ඒත් වැලඳුණොත් සංකූලතා වැඩි වෙන්න පුළුවන්. සංකූලතා නිසා තමයි දරුණු තත්ත්වයට පත් වෙන්නේ. ලංකාවේ කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන් දරුවන් බිහි කරලා අද වන විට යහපත් තත්ත්වයෙන් ඉන්නවා. ඒ දරුවන්ට සංකූලතා තියෙනවාද නැතිද කියලා තවම කියන්න කල් මදි. කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන්ට අසාධ්‍ය වෙන්න කරුණු කීපයක් බලපානවා. එකක් මව වැඩි වයස් වීම. අනික අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝගවලින් පෙළෙන මවක් වීම. තරබාරු වීමත් බලපානවා. එවැනි ගැබිනි මව්වරුන් තමයි අවදානම් හැටියට අපි හඳුනා ගන්නේ. ඒ අයව තමයි දැඩි සත්කාර ඒකකයට දැමීමට සිදු වෙන්නේ.“
මේ වන විට හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන් ගණන 20කි. ඉන් එක් මවක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නීය. තිස්සමහාරාම දෙබරවැව ප්‍රදේශයේ ගැබිනි මවක් කොවිඩ් 19 වයිරසයට ගොදුරු වී මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඈ සමඟ එකම පවුලේ හතරදෙනකුට ද කොවිඩ් 19 ආසාදනය වී ඇත. අවදානමක් ඇති ගැබිනි මවුන් කොරෝනා වයිරසයට ගොදුරු වීමෙන් කලලය විනාශ විය හැකිය. ඇතැම්විට නොමේරු දරු උපත් සිදු විය හැකිය. සමහරවිට සිසේරියන් සැත්කම් වලින් දරුවා බිහි කිරීමට සිදු විය හැකිය. මෙවැනි තත්ත්වයන් මග හරවා ගැනීමට නම් ගැබිනි මව්වරුන් කොවිඩ් 19 වයිරසයෙන් ආරක්ෂා වී සිටීම අත්‍යවශ්‍ය වේ.
ගැබිනි මවුන් කොරෝනා රකුසාගෙන් ආරක්ෂා කරගන්නේ කෙසේද ?
ගැබිනි මව්වරුන් කොවිඩ් 19 වයිරසයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රම 2ක් අනුගමනය කළ හැකි බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ඉන්දු අසංක ජයවර්ධන පෙන්වා දුන්නේය. ඉන් 1 වැනි ක්‍රමය වන්නේ ගැබිනි මව්වරුන් හැකි තාක් නිවෙසට වී සිටීමයි. එයින් ඔවුන් සමාජයට නිරාවරණය වීම වළක්වා ගත හැකි බැවින් කොවිඩ් 19 වයිරසයට ගොදුරු වීමේ හැකියාව අවම කර ගත හැකි බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය. මෙහිදී නිවසේ සිටින සෙසු අය සෞඛ්‍යාරක්ෂිත ක්‍රම පිළිපදිමින් වයිරසය නිවසට රැගෙන ඒමෙන් වැළකීම ඉතා වැදගත් වේ.
ගැබිනි මව්වරුන් කොවිඩ් වයිරසයට ගොදුරු වීම වළක්වා ගැනීමේ අරමුණෙන් රාජ්‍ය සේවයේ නියුතු ගර්භණී කාන්තාවන් සේවයට කැඳවීම අත්හිටුවා වැටුප් සහිත නිවාඩු ලබා දීමට රජය තීරණය කර ඇත. ඊට අදාළ චක්‍ර ලේඛය පසුගිය 10 වැනිදා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කෙරිණි. පෞද්ගලික ආයතන ප්‍රධානින්ගෙන් ද ගර්භණි කාන්තාවන් සේවයට නොකැඳවන ලෙස ඉල්ලීමක් කර තිබේ.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ඉන්දු අසංක ජයවර්ධන 2 වැනි ක්‍රමය ලෙස පැහැදිලි කරන්නේ එන්නත්කරණයයි.
“එන්නත් ලබා ගැනීමේදී ගැබිනි කාන්තාවගේ කලලයට බලපෑමක් වෙන්නේ නැහැ කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ලෝකයේ පිළිගත් ආයතන ප්‍රකාශ කර තිබෙනවා. අපි හිතමුකො දරුවකු බලාපොරොත්තුවෙන් ඉන්න කාන්තාවක් කියලා. එන්නත්කරණයට එයා එයාගේ ගැබිනි බව පරීක්ෂණයකින් තහවුරු කර ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මඳ සරුභාවයට ප්‍රතිකාර කරන කෙනෙකු වුණත් එන්නත් ලබා ගැනීමට බිය විය යුතු නැහැ. එන්නතෙන් කලලයට හානියක් වෙන්නේ නැහැ. හැබැයි එන්නත් ලබා ගත්තාට පසුව ඇති වන උණ තත්ත්වය ගැබිනි මව්වරුන් වළක්වා ගත යුතුයි. මොකද මවට උණ ඇති වීම කුසයේ සිටින බබාට බලපානවා. ඒ නිසා ගැබිනි මව්වරුන් උණ වළක්වා ගැනීමට පැරසිටමෝල් පෙති පාවිච්චි කිරීම සුදුසුයි.“ යනුවෙන් ඔහු තවදුරටත් විස්තර කළේය.
එහෙත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනිය, ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න සඳහන් කරන්නේ ගැබිනි මාතාවන්ට එන්නත් දීමේදී විශේෂ සැලකිල්ලක් ගෙන තීන්දු තීරණ ගත යුතු බවයි.
“ගැබිනි මාතාවන් කියන්නේ ජීවිත දෙකක්. ඒ නිසා අපි එයාලා ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනෑ. ලෝකයේ කොහේවත් ගැබිනි මව්වරුන් යොදාගෙන පරීක්ෂණ කරන්නේ නැහැ. ඒ නිසා ගැබිනි මව්වරුන්ට අනුමත වූ එන්නතක් ලෝකයේ නැහැ.“යනුවෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනිය ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය, පද්මා ගුණරත්න පැවසුවාය.
කොවිඩ් පාලනය කිරීම සඳහා ක්‍රමවේද යොදා ගනිමින් විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබන්නේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයයි. ගැබිනි මව්වරුන් එන්නත්කරණය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් තිබේදැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමති, විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලෙගෙන් විමසුවේ එමනිසාය.
“ගර්භණි මාතාවන්ට සමහරුන් බේත් දෙන්නෙවත් නැහැ. ඒ තරමටම කුස තුළ සිටින දරුවා ආරක්ෂා කරනවා. කොවිඩ් පාලන එන්නත ගැබිනි මව්වරුන්ට සුදුසු ද කියලා ලෝකයේ පරීක්ෂණ කරලා නැහැ. එයින් දරුවාට බලපෑමක් නැතිද ආරක්ෂිතද කියලා තාක්ෂණිකව තහවුරු වෙලා නැහැ. තාක්ෂණික කමිටුවකින් තහවුරු කළොත් අපිට ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්.
ඒ නිසා මම නම් සෑම ගර්භණි මාතාවකගෙන් ඉල්ලා සිටින්නේ හැමෝම ගෙදරට වෙලා ඉන්න කියලා. ඒවගේම ගෙදරට එන අය විෂබීජ අරගෙන ගෙදරට ඇතුළු වෙන්නේ නැතිව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරලා ගෙවල්වලට ඇතුළු වෙන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.“ යනුවෙන් රාජ්‍ය ඇමතිනිය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ ඉල්ලීමක් කිරීමට අමතක කළේ නැත.
කොරෝනා රෝගීන් නිවසේ බලාගන්නේ කෙසේද ? අපගේ පෙර ලිපිය
( www.silumina.lk වෙබ් අඩවියෙනි )