PCR පරීක්ෂණයට පසුව මහගෙදර ගිය පුතෙක් නිසා සිදුවූ ඛේදවාචකය

0
PCR පරීක්ෂණයට පසුව - Covid 19 deaths

ඇවරිවත්ත ප්‍රදේශයේ පිහිටි සිය මහගෙදරට ගිය පුතෙකුගෙන් මුළු පවුලටම කොවිඩ් වෛරසය ආසාදනය වීමේ පුවතක් වාර්තා වනවා.

කොවිඩ් වැළඳීම නිසා ඔහුගේ පියා සහ බාප්පා මරණයට පත්ව තිබෙනවා.

මීගමුව, කුරණ ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා පසුගියදා PCR පරීක්ෂණයකට ලක්ව දින කිහිපයකට පසුව ඉකුත් මැයි මස 08 වෙනිදා කටුනායක, ඇවරිවත්ත ප්‍රදේශයේ පිහිටි සිය මහගෙදරට පැමිණ ඇත්තේ දෙමව්පියන් දෙදෙනා බැලීමටයි.

සිය දෙමව්පියන් දෙදෙනා සමග මිනිත්තු 30 ක පමණ කාලයක් නිවසේ රැඳී සිටීමෙන් පසුව ඔහු යලි තමන් පදිංචි නිවස බලා පැමිණ තිබෙනවා.

නිවසට පැමිණීමෙන් පසු එදිනම සවස ඔහුගේ PCR පරීක්ෂණ ප්‍රථිපල ලැබී ඇති අතර එහිදී ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවට හෙළිවී ඇති බව වාර්තා වනවා.

මේ අතර පසුගිය මැයි මස 09 වෙනිදා සවස් කාලය වන විට මෙම ආසාදිත පුද්ගලයාගේ 60 හැවිරිදි මවට හුස්ම ගැනීමේ අපහසුතාවයක්, කැස්ස ආදී රෝග ලක්ෂණ හේතුවෙන් කටුනායක පොලිසියේ මැදිහත් වීමෙන් පසුව මීගමුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත යොමු කරනු ලැබ තිබෙනවා.

පසුව ඉකුත් මැයි මස 12 වෙනිදා 66 හැවිරිදි පියාට ද රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් කටුනායක පොලිසිය මැදිහත් වීමෙන් මිගමුව රෝහලට ඇතුලත් කොට ඇති අතර ඇතිව තිබු සංකුලතා හේතුවෙන් මියගොස් තිබෙනවා.පසුව සිදුකළ පරීක්ෂණ වලදී ඔහු කොවිඩ් ආසාදිතව ඇති බවට කරුණු අනාවරණය වුණා.

මේ අතර කටුනායක ඇවරිවත්ත නිවසෙහි සිටි මොහුගේ සොහොයුරියන් දෙදෙනාට ද කොරෝනා රෝග ලක්ෂණ මතු වීමෙන් පසුව ඔවුන් ද නීරෝධායන ක්‍රියාවලිය සදහා රැගෙන ගොස් තිබෙනවා.

කොවිඩ් ආසාදිතව මියගිය 66 හැවිරිදි පියාගේ සහෝදරයාද මෙම කටුනායක නිවසෙහි සිට ඇති අතර ඔහු මන්ද මානසික රෝගයකින් පෙළෙමින් සිට තිබෙනවා. 60 හැවිරිදි ඔහුටද කොරෝනා රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් එදිනම සවස ජිවිතක්ෂයට පත්වී ඇති අතර ඔහුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

PCR පරීක්ෂණයකට ලක්වන පුද්ගලයින් ප්‍රථිපල එනතෙක් නිවෙස් ගතව නිරෝධායනය වීම අනිවාර්ය බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.