ඉන්දියාවේ අරුන්දතී රෝයි පසුගියදා ඉන්දීය රජයේ සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ පලු ඇරියේ ඉන්දියාව තුළ අධිවේගයෙන් පැතිර යන කොවිඩ් වසංගතය පාලනය කිරීමට අසමත් වීම හේතුවෙනි. අරුන්දතී ප්‍රකාශ කළේ ජනතාවට හරිහමං නායකයෙකු පත්කර ගැනීමට ඉඩ දී අගමැතිවරයා ගෙදර යා යුතු බවයි.
පසුගියදා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව සිහිපත් කරමින් ප්‍රකාශ කළේ අරුන්දතී රෝයි මහතා වැනි ප්‍රකට විද්වතුන් පවා ඉන්දීය අගමැතිවරයා ප්‍රසිද්ධියේ විවේචනය කරන තත්වයට ඉන්දියාවේ කොවිඩ් වසංගතය දරුණු වී ඇති බවයි. මෙවැනි තත්වයක් අනාගතයේදී ශ්‍රී ලංකාවත තුළද උද්ගත විය හැකි බැවින් වහාම ඊට අවශ්‍ය පියවර ගතයුතු බව ඔහු අවධාරණය කළේය.
අරුන්දතී රෝයිගේ ප්‍රකාශයෙන් ඉන්දියාවේ ඇවිලුණු ගින්නට වඩා ගින්නක් සජිත්ගේ ප්‍රකාශයෙන් ශ්‍රී ලංකාව තුළ ඇවිල ගියේ ඉන් අනතුරුවයි. ඊට හේතුවෙ ඉන්දියාව පමණක් නොව සමස්ත ලෝකයම දන්නා අරුන්දතී රෝයි නමැති කාන්තාව, ලේඛිකාව, සමාජ ක්‍රියාකාරිණිය අපේ විපක්ෂ නායකයාට අනුව පිරිමියෙකු හා විද්වතෙකු වීමයි.
අපේ විපක්ෂ නායකයා සිදු කළේ කවුරුන් හෝ ලියාදෙන දෙයක්, කිසිදු විචාරකයකින් තොරව ගිරා පෝතකයෙකු මෙන් පාර්ලිමේන්තුවේදී දෙසාබෑමයි. අවම වශයෙන් ඔහුට සිය අතරැඳි ස්මාර්ට් ෆෝන් එකෙන් හෝ අරුන්දතී රෝයි කවුරුන්දැයි සොයා බැලීමට හෝ උනන්දුවක් නොතිබුනේය.
සජිත්ගේ මේ දුර්වලතාවය ඔහුගේ සමස්ත දේශපාලන ජීවිතය පුරාම බැඳී තිබෙන අතර ඔහු තවමත් ඉන් පාඩම් ඉගෙන ගෙන නොමැත, ඉගෙන ගන්නා බවක් පෙනෙන්නේද නැත.
මේවාට සමාජ මාධ්‍ය වහරේ කියන්නේ ‘නෝන්ඩි සීයයි… කින්ඩි අසූවයි’ කියාය.
අනෙක් කරුණ වන්නේ සජිත්, අරුන්දතී රෝයි විද්වතා පිළිබඳව කියන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමාටය. එතුමාද අරුන්දතී රෝයි ගැන හාංකවිසියක් නොදන්නවා සිකුරුය. එපමණක් නොව විපක්ෂයේ බොහෝ දෙනාද එසේමය.
බදුල්ලේ චාමර සම්පත්, කැලණියේ ප්‍රසන්න රණවීර වැනි වියත් මහජන නියෝජිතයන් පිරි ආණ්ඩු පක්ෂයේ බහුතරයක්ද අරුන්දතී රෝයි යනු ගැහැණියක්ද පිරිමියෙක්ද කියා වත් නොදන්න්වා සිකුරුය.
අපේ පාර්ලිමේන්තුව කියන්නේ, ‘මෙගා පොලිස්’ යනු ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ විමර්ශන ඒකකයක් යැයි හැඳින්වූ මහජන නියෝජිතයන් සිටි ස්ථානයක් බව ජනතාවට අමතක නැත.
එය සක්සුදක් සේ පැහැදිලි වූයේ අරුන්දතී රෝයි පිරිමියෙකු නොව ගැහැණියක බව සෝෂල්මීඩියාවල සිටින කොල්ලන් කෙල්ලන් පෙන්වා දෙනතෙක් එ් පිළිබඳව ප්‍රකාශ කරන්නට පාර්ලිමේන්තුවේ එකදු මහජන නියෝජිතයෙකු හෝ ඉදිරිපත් නොවූ නිසාය.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයාට අප අවධාරණය කරන්නේ තමන් පාර්ලිමේන්තුවේ කියන්නේ මොනවාදැයි අවම තරමින් ගූගල් සර්ච් කර හෝ අවබෝධ කර ගන්නා ලෙසයි. එසේ නොමැති නම් සෝෂල්මීඩියො කොල්ලන්ගේ කට කැඩිච්ච කතා තවදුරටත් ඇසීමට හා විවිධ විසුළු නම් පටබැඳ ගැනීමට ඔහු සූදානමින් සිටිය යුතුය.
මින් පසු සජිත්ට කතා ලියාදෙන පුද්ගලයන්ද කවරෙකුගේ හෝ නමක් සඳහන් කරන්නේ නම් අඩුම තරමින් පිරිමියෙකුද ගැහැණියකද යන්න හෝ පැහැදිලිව සඳහන් කිරීමට වගබලා ගත යුතුය. එසේ නොමැති වුවහොත් රෙදි ගැලවෙන්නේ විපක්ෂ නායකයාගේ පමණක් නොව සමස්ත රටේමය.
රිදෙන තැනකට රිදේවා !
වැදෙන තැනකට වැදේවා !
වැදී – රිදී හෝ හැදේවා !
(https://www.lankanewsweb.net/ වෙබ් අඩවිය ඇසුරිනි)