ලොරි 70ක් අරන් පොළොන්නරුවට ගිහින් ලොකු මෝල්වල තිබූ සහල් කොළඹට රැගෙන පැමිණි මෙහෙයුමේ තොරතුරු

0
Polonnaruwa Rice for Sathosa - ලොරි 70ක් අරන් පොළොන්නරුවට ගිහින් ලොකු මෝල්වල තිබූ සහල් කොළඹට රැගෙන පැමිණි මෙහෙයුමේ තොරතුරු

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සහල් ගබඩා පරීක්ෂා කළ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ,විශ්‍රාමික මේජර් ජෙනරාල් නිවුන්හැල්ල මහතා ඇතුළු කණ්ඩායමක් එම ගබඩාවල තිබු මෙට්‍රික් ටොන් දහසකට ආසන්න සහල් තොගයක් රජයේ භාරයට පිළිබඳව මේ වනවිට රට පුරා කතාබහට ලක්ව තිබෙනවා.

රජය විසින් පනවනු ලැබු මිල ගණන් වලට වෙළඳපොළට සහල් නිකුත් නොකිරීම හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ප්‍රමුඛ කණ්ඩායම වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කළා.

මේ සම්බන්ධයෙන් අද (09) දිනපතා පුවත්පත් ද සිය අවධානය යොමු කර තිබුණා.

ඔවුන් එම පුවත වාර්තා කර තිබුණේ පහත ආකාරයටයි.

‘පාලන මිලට වෙළෙඳපොළට සහල් නිකුත් නොකරන මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ සහල් ගබඩා පරීක්ෂාකර, හදිසි නීති රෙගුලාසි යටතේ ඒවා රජයේ භාරයට ගෙන, පාලන මිලට වෙළෙඳපොළට නිකුත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට උපදෙස් දුන් අතර ඒ අනුව මෙම සහල් තොග රජයේ භාරයට ගත් බව වෙළඳ අමාත්‍යංශය සඳහන් කරයි.

සතොස සහ ආහාර දෙපාර්තමේන්තුවේ ලොරි රථ 70ක් පමණ පොළොන්නරුවට රැගෙන ගොස් තිබූ අතර, මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතු ව තිබී රජයේ භාරයට ගත් එම සහල් තොග සතොස හරහා අලෙවි කිරීමට ඊයේ (08) පස්වරුවේම කොළඹට රැගෙන එනු ලැබූ බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙි අතර සහල් මෝලක් සතුව පැවති තොග පවරා ගැනීමට කටයුතු කිරීමේදී එහි හිමිකාරත්වය සැලසුම් සහගත විරෝධතා මතු කිරීමට කටයුතු කළ බවත් ඔවුන් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවත් අත්‍යවශ්‍ය සේවා කොන්සල් ජෙනරාල් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ සහායට පාරිභෝගික සේවා අධිකාරියේ සහ සතොස නිලධාරීහු ද පොලීසියද එක් ව සිටියහ.’