ඔක්සිජන් ටැංකියක් පුපුරා යෑමෙන් ඉරාකයේ කොවිඩ් රෝගීන් පිරිසක් මරුට

0

ඉරාකයේ බැග්ඩෑඩ් නුවර කොවිඩ් -19 රෝගීන් ප්‍රතිකාර ලබන රෝහලක ඔක්සිජන් ටැංකියක් පුපුරා යෑමෙන් හටගත් ගින්නකින් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබේ.

මියගිය පිරිස කොවිඩ් රෝගීන් ද වන අතර ගින්නෙන් තවත් පුද්ගලයින් පිරිසක් තුවාල ලබා ඇත.

එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ කොවිඩ් -19 රෝගීන් 30 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ට අවශ්‍ය ඔක්සිජන් සැපයීම සඳහා බාධා එල්ල වී තිබේ.

ගින්න හටගන්නා අවස්ථාවේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 120 දෙනෙකුගෙන් 90 දෙනෙකු බේරාගැනීමට රෝහල් කාර්ය මණ්ඩලයට හැකි වී ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරාකයේ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම සිදුවීම ඛේදජනක තත්ත්වයක් වන අතර මේ පිළිබඳ වහාම පරීක්ෂණයක් ආරම්භ කිරීමට උපදෙස් ලබාදී ඇති බවය.