රිෂාඩ්ගේ ගෙදර සිටි තවත් සේවිකාවන් දෙදෙනෙක් කලිනුත් හදිසියේ මිය ගිහින්

0
Servant in Rishad House - රිෂාඩ්ගේ ගෙදර සිටි තවත් සේවිකාවන් දෙදෙනෙක් හදිසියේ මිය ගිහින්

රිෂාඩ් බදියුදීන් හිටපු ඇමැතිවරයාගේ නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි සේවිකාවන් පිළිබඳ විමර්ශනයක් සිදුකරන විශේෂ පොලිස් කණ්ඩායම සියදිවි නසාගත් බව කියන දහසය හැවිරිදි දැරියට අමතරව තවත් සේවිකාවන් දෙදෙනකු මරණයට පත්වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

ඉන් එක් මෙහෙකාරියක් දුම්රියට පැන සියදිවි හානිකරගෙන ඇති බව කියන අතර අනෙක් සේවිකාව අසනීප වී මරණයට පත්ව ඇතැයි වාර්තා වේ. ලැබුණු මෙවන් තොරතුරු පිළිබඳ පොලිස් විශේෂ කණ්ඩායම පුළුල් පරීක්ෂණයක් අරඹා ඇත.

මේ අතර අත්අඩංගුවේ පසුවන තැරැව්කරු විසින් බදියුදීන් පවුලේ විවිධ පාර්ශ්ව වෙත මෙහෙකාරියන් 11 දෙනකු ගෙනැවිත් භාරදී ඇති බවට තොරතුරු ලැබී ඇති අතර ඉන් තිදෙනකු මරණයට පත්වී තිබිණි.

මේ අතර ඉතිරි තරුණියන් 8 දෙනා කිසියම් කුට්ටනයකට, ලිංගික අතවරයකට හෝ වෙනයම් පහරදීම්වලට, අඩන්තේට්ටම්වලට ලක්වී ඇත්දැයි සෙවීම සඳහා පොලිස්පතිවරයා විසින් මේ සම්බන්ධව කෙරෙන විමර්ශන සඳහා පත්කර ඇති ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්ත ඇතුළු කණ්ඩායමක් ඊයේ (25දා) මෙම තරුණියන් පදිංචි ප්‍රදේශවලට යෑමට නියමිතව තිබිණි.

ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්ත මහත්මිය මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරිය ලෙස රාජකාරි කරමින් සිටියදී මෙම විමර්ශන සඳහා කොළඹට කැඳවා තිබිණි.

ඇය සමඟ මාතර ළමා හා කාන්තා අපරාධ විමර්ශන අංශයේ නිලධාරිනියන් හා නිලධාරීන් කිහිපදෙනකුද කොළඹට පැමිණ දැරිය සම්බන්ධ විමර්ශනවලට එකතු වී ඇත.

මෙම කණ්ඩායම කොළඹ දකුණ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන්ද සමඟ එක්වී මෙම දැරියන් 8 දෙනාගේ හා ඔවුන්ගේ මවුපියන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇත.

රිෂාඩ් බදියුදීන් හිටපු ඇමැතිවරයාගේ බිරියගේ හා සොහොයුරකු විසින් ඇමැතිවරයාට අයත් රජයේ නිල නිවෙසකදී දෙවරක් අතවරයට පත්කළ සේවිකාවද මේ වන විටත් විමර්ශන නිලධාරීන් භාරයේ සිටී.