තම පාලන කාලයේ ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා දුන් ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.
වර්ෂ 2022 ජූලි මස සිට 2024 සැප්තැම්බර් මස දක්වා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලය තුල ජනාධිපති අරමුදලේ ක්‍රියාකාරකම් පිළිබඳ සංක්ෂිප්ත සටහනක් ලෙස මෙය ඉදිරිපත් කෙරෙයි.
2022 ජූලි මස 26 වැනි දින වන විට මූල්‍යාධාර ලබා ගැනීම සඳහා රෝගීන්/අයදුම්කරුවන් විසින් ජනාධිපති අරමුදල වෙත ඉදිරිපත් කරන ලද අයදුම්පත් 8000 කට ආසන්න ප්‍රමාණයක් සඳහා ගෙවීම් සිදුකර නොතිබූ අතර 2022 දෙසැම්බර් මාසය වන විට තවදුරටත් අයදුම්පත් 3000 ක පමණ ප්‍රමාණයක් ජනාධිපති අරමුදල වෙත ගෙවීම් කිරීම සඳහා ඉදිරිපත් වී තිබිණ.
ඒ අනුව මේ සියළුම අයදුම්පත් සඳහා ඉතා කඩිනමින් ගෙවීම් කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන ලද අතර 2022 වර්ෂය අවසාන වන විට සියළුම රෝගීන්/අයදුම්කරුවන් සඳහා ගෙවීම් සිදුකර අවසන් කෙරිණි. ඒ සඳහා රුපියල් මිලියන 1500 කට ආසන්න පිරිවැයක් ජනාධිපති අරමුදල විසින් දරන ලදී.
ඒ අනුව වසර ගණනාවක සිට ගෙවීම් සිදු නොවී ගොඩ ගැසී තිබුණු වෛද්‍යාධාර අයදුම්පත් සඳහා ගෙවීම් සිදු කර අවසන් කරන ලද අතර තවදුරටත් කිසිදු ප්‍රමාදයකින් තොරව ගෙවීම් සිදු කිරීමට ක්‍රමවේදයක් ද සකස් කරන ලදී.
ඒ අනුව, වෛද්‍යාධාර ලබා දීම සඳහා මාස ගණනාවක් ගතවන ක්‍රමවේදය වෙනුවට දින 3කට අඩු කාලයක් තුල වෛද්‍යාධාර ගෙවා අවසන් කිරීමට හැකිවන පරිදි නව වෛද්‍යාධාර ඉල්ලුම් කිරීමේ අයදුම්පත්‍රයක් හදුන්වා දෙන ලදී.
රෝහලින් බැහැර වූ දින සිට වෛද්‍යාධාර අයදුම්පත් බාරදීමට තිබූ දින 30ක කාලය දින 60ක් දක්වා දීර්ඝ කරනු ලැබීය.
ගැටළු සහිත අයදුම්පත් ඉදිරිපත් වූ විට ඒවා තවදුරටත් සලකා බැලීම සඳහා අභියාචනා කමිටුවක් හඳුන්වා දීමට කටයුතු කෙරිණි.
ග්‍රාමීය සහ කොළඹින් පිටත අයදුම්කරුවන් සඳහා තවදුරටත් සහන සැලසීම සඳහා නව රෝහල් ජනාධිපති අරමුදලේ ලියාපදිංචි කරවා ගැනීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
අලුතින් හදුනාගෙන ඇති රෝග සඳහා මෙන්ම මීට පෙර වෛද්‍යාධාර ගෙවීම් නොකරන ලද රෝග සඳහා වෛද්‍යාධාර ගෙවීමේ කටයුතු අලුතින්ඇරඹීය.
එවකට පැවති සියළුම වෛද්‍යාධාර ගෙවීම් යාවත්කාලීන කිරීමේ පියවරක් වශයෙන් 2024 ජනවාරි මස සිට සියළුම වෛද්‍යාධාර ගෙවීම් 50% සිට 100% දක්වා ප්‍රමාණයකින් වැඩි කරන ලදී.
රාගම රෝහලේ දී කරනු ලබන කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා රුපියල් ලක්ෂ 10 දක්වා වෛද්‍යාධාර ලබා දීම අලුතින් ආරම්භ කළේය.
කුඩා දරුවන්ගේ කර්ණ ශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා රුපියල් ලක්ෂ 6 දක්වා වෛද්‍යාධාර හදුන්වා දීම සිදුවිණ.
රජයේ රෝහල් විසින් සිදු කරනු ලබන සැත්කම් සඳහා සැත්කමට පෙර හා පසු වෛද්‍ය වාර්තා පිටතින් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා චෛද්යාධාර ලබා දීම අලුතින් හදුන්වා දුන්නේය.
ගැහැණු දරුවන්ගේ පැති කුදය රෝගය (Scoliosis) සඳහා මෙරට දී හෝ පිටරටක දී හෝ සිදු කරනු ලබන සැත්කම් සඳහා අවශ්‍යතාවය අනුව ලබා දිය හැකි උපරිම වෛද්‍යාධාර දීම හදුන්වා දුණි. සාමාන්‍යයෙන් මේ වෙනුවෙන් සෑම විටම රුපියල් ලක්ෂ 10 සිට රුපියල් ලක්ෂ 40 දක්වා අවශ්‍ය වෛද්‍යාධාර ලබාදීමට කටයුතු කෙරිණ.
වෛද්‍යාධාර ලබා දීමේ ක්‍රමවේදය පුළුල් කිරීම හා ජනතාව වෙත ඒ සඳහා අවශ්‍ය පහසුකම් පුළුල් කිරීම තුලින් වඩා හොද සේවාවක් ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලදී.
වෛද්‍යාධාර ප්රදානය කිරීම සඳහා සැලකිල්ලට ගනු ලබන රෝගියාගේ පවුලේ මාසික ආදායම් සීමාව සංශෝධනය කෙරිණ. එමඟින් වෛද්‍යාධාර ලබාදීමට සලකනු ලබන රෝගියාගේ පවුලේ මාසික ආදායම් සීමාව රුපියල්.150,000.00 සිට රුපියල්.200,000.00 දක්වා ඉහල දැමිණ.
වයස අවුරුදු 21 අඩු දරු දැරියන් සඳහා අක්ෂි ශල්‍යකර්ම සඳහා අලුතින් වෛද්‍යාධාර ලබා දීමට පියවර ගත්තේය.
යම් රෝගියෙකු සඳහා උපරිම රුපියල් ලක්ෂ 10 ක සීමාව යටතේ අවස්ථා ගණනාවකදී වුවද වෛද්‍යාධාර ලබා දීමට කටයුතු කිරීම හා එම සීමාව ඉක්මවා වෛද්‍යාධාර දීමට අවශ්‍ය වන්නේ නම් ජනාධිපතිතුමාගේ, ජනාධිපති ලේකම්තුමාගේ, ජනාධිපති අරමුදලේ ලේකම්තුමාගේ අනුමැතිය පරිදි එම සීමාව ඉක්මවා වෛද්‍යාධාර ලබාදීම ක්‍රියාත්මක විය.
මීට පෙර වෛද්‍යාධාර නොදුන් පිළිකා රෝග තත්වයන් සඳහා ද 2024.01.01 දින සිට වෛද්‍යාධාර ලබා දීමට කටයුතු ඇරඹිණ.
ලියුකේමියා, තැලසීමියා හා පිළිකා විශේෂයක් වන මයිලෝමා රෝගී තත්වයන් සඳහා සිදු කරනු ලබන ඇට මිදුලු සැත්කමට පෙර හා පසු කරනු ලබන පරීක්ෂණ සඳහා වෛද්‍යාධාර අලුතින් ලබා දීමට කටයුතු ඇරඹුවේය.
ඒ අනුව දැනට වෛද්‍යාධාර ලබා ගැනීම සඳහා රෝගීන් විසින් ජනාධිපති අරමුදල වෙත ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම් සඳහා දින 3 ක් ඇතුලත වෛද්‍යාධාර ලබා දීමේ ක්‍රමවේදය සකස් කර ඇති අතර අදාල ගෙවීම් ඍජුවම රෝගියාගේ, අයදුම්කරුගේ බැංකු ගිණුම වෙත ප්‍රේෂණය කර ඒ බව කෙටි පණිවිඩයක් මඟින් රෝගියා, අයදුම්කරු වෙත දන්වා යවනු ලැබේ. එසේම ශල්‍යකර්මය , ප්‍රතිකාරය ලබා ගැනීම සඳහා රෝහල්ගත වී ඇති අවස්ථාවක ජනාධිපති අරමුදල විසින් රෝහල වෙත වගකීම් ලිපියක් නිකුත් කර පසුව අදාළ වෛද්‍යාධාරය රෝහල වෙත ප්‍රේෂණය කිරීමද සිදුවිණ.
2022 වර්ෂයේ සිට වෛද්‍යාධාර වශයෙන් රෝගීන්- අයදුම්කරුවන් වෙත ලබා දී ඇති මුදල පහත පරිදිය.
2022 වර්ෂය වන විට ගොඩගැසී තිබූ අයදුම්පත්‍රද සමඟ 2022 වර්ෂය තුල රුපියල් මිලියන 1515 ක් ද 2023 වර්ෂයේ දී රු.මි.839 ක් ද 2024 වර්ෂයේ සැප්තැම්බර් මාසය දක්වා දළ වශයෙන් රු.මි.450 ක් පමණ ද රෝගීන් සඳහා වෛද්‍යාධාර වශයෙන් ලබා දී තිබුණි.