ජලාශ රැසක ජල මට්ටම් ප්‍රමාණවත් නෑ. විදුලි කප්පාදුවක් ආහාර හිගයක් අත ලග ?

0

ජල මට්ටම්

දිවයිනේ පළාත් රැසකට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් ජලාශ රැසක ජල මට්ටම් තවදුරටත් පහළ යමින් පවතී.

එවන් පසුබිමක සමනළ වැවේ ජලය ගොවි බිම් වෙත නිකුත් කළහොත් දිස්ත්‍රික්ක පහක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අනතුරු අඟවයි.

එහෙත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ ගොවීන් වෙත ජලය නිකුත් නොකළහොත් ආහාර අර්බුදයක් නිර්මාණය විය හැකි බවය.

දිවයිනේ ප්‍රදේශ රැසකට මේ වන විට පවතින්නේ වියළි කාලගුණ තත්ත්වයකි.

ඉන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ උතුර , උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වලටය.

මෙම කලාපයේ වැසි ජලයෙන් පෝෂණය වන වැව් හයදහසක් පමණ මේ වනවිට සිඳී ගොස් ඇතැයි වාර්තා වේ.

අනුරාධපුර, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය ආදී දිස්ත්‍රික්කවල විශාල වැව් රැසක ජල මට්ටම්ද මේ වනවිට පවතින්නේ පහළ මට්ටමකය.

මේ තත්ත්වය දැනටමත් වගා කටයුතුවලට අහිතකර ලෙස බලපාමින් තිබේ.

බරපතළම තත්ත්වය වන්නේ මේ වාතාවරණය ඉදිරියේදී ජල විදුලි නිෂ්පාදනයටත් අහිතකර ලෙස බලපානු ඇති බවට කෙරෙන අනතුරු ඇඟවීයම.

ගෙවුණු පැය 24 තුළ වැඩිම උෂ්ණත්වයක් වාර්තා වී තිබුණේ පොළොන්නරුව සහ වවුනියාව යන දිස්ත්‍රික්කවලිනි.

එම අගය සෙල්සියස් අංශක 38.1 කි.

මේ අධික උෂ්ණත්වය සහ වියැළි කාලගුණික තත්ත්වය හමුවේ දිවයිනේ කුඩා හා මධ්‍ය පරිමාණ වැව් බොහෝමයක් බලපෑමට ලක්ව තිබේ.

මේ අනුව ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

උතුරු හා නැගෙනහිර පළාත්වලට මෙන්ම සබරගමු පළාතටත් මේ තත්ත්වය බලපා තිබේ.

එහි ප්‍රධාන ජලාශයක් වන උඩවලව ජලාශයයි.

උඩවලව ජලාශයෙන් වලව මහවැලි බල ප්‍රදේශයේ ගොවීන් සඳහා ජලය නිකුත් කෙරෙන අතර එහි ජල මට්ටම පහළ බැසීමෙන් ඒ යටතේ වගාකර ඇති කුඹුරු අක්කර පනස් දහසකට වැඩි ප්‍රමාණයකට ජලය සපයා ගැනීම ගැටලුවක් බවට පත් වී තිබේ.

එම ප්‍රදේශයේ ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ උඩවලව ජලාශයට ඉහළින් පිහිටි සමනල වැවෙන් ජලය නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසය.

එහෙත් ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය අනතුරු අඟවන්නේ සමනල වැවේ ජලය උඩවලව ජලාශයට නිකුත් කළහොත් දකුණු පළාත තුළ විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති බවටය.

මේ අතරවාරයේ සමනල වැවේ ජලය සිය ගොවිතැන් සඳහා නිකුත් කරන්නැයි බලකරමින් වලවේ ගොවීන් අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට පියවර ගත්තේය.

එය අද ක්‍රියාත්මක වුණේ 8 වන දිනටය.

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාද පැවසුවේ විදුලි සැපයුම ගැන නොසලකා ගොවීන් වෙත ජලය නිකුත් කිරීම සඳහා බලධාරීන් තීරණයක් ගත යුතු බවය.

වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම් පහලට විදුලි උත්පාදනයට බාධා

ජල මට්ටම්

උඩරට ප්‍රදේශ වලට මේ දිනවල බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල විදුලි උත්පාදනය බොහෝ දුරට සීමා කොට ඇති බව එහි කාර්ය භාර ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා පවසයි .

වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සහ ජල විදුලි උත්පාදනය සම්බන්ධයෙන් කළ විමසීමකදී ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ජලාශයේ ජල මට්ටම මේ වනවිට 35% දක්වා පහත බැස ඇති බවයි .

ඒ හේතුවෙන් ජල විදුලි උත්පාදනය බොහෝ සෙයින් සීමා කොට ඇති බව පැවසූ ඇහැළපිටිය මහතා රාත්‍රී කාර්යබහුල වෙලාවෙදි පමණක් ගිගාවොට් පැයක පමණ විදුලි නිෂ්පාදනයක් මේ වන විට සිදු කරන බව ද පැවසීය .

සත්ත්ව ආහාර සහ බියර් නිෂ්පාදනයට සහල් යොදා ගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

දැනට පවතින දැඩි නියඟය හේතුවෙන් ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර හිඟයට මුහුණදිම සඳහා මේවනවිට රට තුළ පවතිනස හල් තොග ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව සත්ව ආහාර හා බියර් නිෂ්පාදනය සඳහා සහල් යොදා ගැනීම වහාම අත්හිටුවීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර එම අමාත්‍යංශයේ ලේකම් ගුණදාස සමරසිංහට උපදෙස් ලබාදී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.

මේ සම්බන්ධව සකස් කළ ලිපියක් වෙළඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ ජනාධිපති ආහාර සුරක්ෂිතතා කමිටුවට ඉදිරිපත් කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

දිස්ත්‍රික්ක කිහිපයක වගා කර ඇති කුඹුරුවල ගොයම් තවමත් පීදී නොමැති අතර ඇතැම් ප්‍රදේශවල ගොයම් කිරට නැමෙන තත්ත්වයක පවතිනවා.

ඉදිරි දින කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබුන හොත් යල කන්නයේ අපේක්ෂිත වී අස්වැන්න නොලැබීම නිසා ඉදිරි කාලය තුළ සහල් හිගයක් ඇතිවීමේ අවදානමක් මතුවිය හැකි බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.

සත්ත්ව ආහාර හා බියර් නිෂ්පාදනයට සහල් යොදැ ගැනීම අත්හිටුවීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත්තේ එවැනි පසුබිමක් තුළයි.

පසුගිය මහ කන්නයේ වී අස්වැන්නෙන් සකසන ලද සහල් මෙටි්‍රක් ටොන් ලක්ෂයක් පමණ සත්ත්ව ආහාර නිෂ්පාදන සහ බියර් නිෂ්පාදනය සඳහා යොදා ගෙන ඇති බවට තොරතුරු වාර්තා වන බව ද කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළා.

විශේෂයෙන් සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය දේශීය බඩඉරිගු නිෂ්පාදනය පහත වැටීම හා බඩඉරිගු ආනයනයට මුදල් නොමැතිවීම හේතුවෙන් කිරි, බිත්තර හා කුකුළු මස් නිෂ්පාදනය පහත වැටීම වළක්වා ගැනීම සඳහා සත්ත්ව ආහාර නිෂ්පාදනයට සහල් යොදා ගැනීමට ඉකුත් කාලසීමාවේදී රජය තීරණයක් ගෙන තිබූ බව ද කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය දැක්වෙනවා.