ආර්ථිකය යම් දුරකට ස්ථාවර වෙමින් පවතින බව මහ බැංකු අධිපති කියයි

0
Nandalal Weerasinghe - ආර්ථිකය යම් දුරකට ස්ථාවර වෙමින් පවතින බව මහ බැංකු අධිපති කියයි

පවතින අර්බුදකාරී තත්ත්වය කළමනාකරණය කරගනිමින් ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා මෙවර අයවැය වැදගත් වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ පෞද්ගලික රූපවාහිනි නාළිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවට එක්වෙමිනි.

මුදල් ප්‍රතිපත්ති තර කර පොලී අනුපාත වැඩි කරමින් සහ රජය බදු වැඩිකරීම් සිදු නොකළ සිටියේ නම් මේ වන විට රට තුල උද්ධමනය 100% ඉක්මවීමට ඉඩ තිබූ බවද ඒ මහතා එහිදී පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“ආර්ථිකය කඩාවැටීම නවත්වන්න නම් අපිට සිද්ධවෙනවා ආර්ථිකය කඩාවැටෙන මග නවත්වන්න. අපි හිටපු තත්ත්වයත් එක්ක අපි කරපු දේවල් කිරීම අත්‍යවශ්‍ය වුණා මේ වෙලාවේ මේ ආර්ථික කඩාවැටීම නවත්වන්න. ඒක තමයි තිබුණ හොඳම දේ. වෙන මගක් තිබ්බේ නැහැ. අපි මුදල් ප්‍රතිපත්ති තර කළේ නැත්නම්, අපි පොලී අනුපාත වැඩි කළේ නැත්නම්, රජය බදු වැඩිකරේ නැත්නම් අපි හිටියා නම් තව කල් දීලා බලමු කියලා, උද්ධමනය සියයට සියය ඉක්මවා යන්න තිබුණා. මේ දේවල් ඉතුරු නොවෙන්න තිබුණා. මේ වෙනකොටත් එහෙනම් හැමදේම කඩාවැටෙන්න තිබුණා.

අපි කරපු දේවල්වල ධනාත්මක පැත්ත බලමු. මාස තුන හතරකට කළින් අපිට ප්‍රෙටල්, ඩීසල් තියා ප්‍රමාණවත් විදුලියවත් තිබුණද? අපි මේ ඉන්න තත්ත්වය අපි ගත්ත තීරණත් එක්ක දැන් සියයට සියයක් නැතත් යම් ස්ථාවරත්වයක ඉන්නවා. සමහර ව්‍යාපාර දැන් ක්‍රියාත්මක වෙමින් යනවා. හැබැයි සමහර අංශවලට තවමත් ඒ බලපෑම තියෙනවා. ඒක ගැන ගැටලුවක් නැහැ. නමුත් අපි මේක කළේ නැත්නම්,අපනයන සහ මේ කිසිම අංශයක් කරගන්න බැරිවෙනවා. ලෙබනනයේ වගේ ව්‍යාපාර වහන්න වෙනවා.

අපි දැන් ඉන්නේ ස්ථායි වෙමින් පවතින තත්ත්වයක. මම අහන්නේ මේක වෙන ක්‍රමකින් කරන්න තිබුණා කියන අයගෙන් එහෙනම් මොකක්ද මේක කරන්න තිබුණ ක්‍රමවේදය? ප්‍රශ්නය තමයි කියන්න මොකක්ද අපි මේ තත්ත්වය ස්ථායි කරන්න කරපු වැඩපිළිවෙළට වඩා හොඳ අනෙක් ක්‍රමය? අපි මේ අර්බුදය කළමනාකරණය සිදුකරලා ආර්ථික‍ ස්ථාවරත්වය ඇතිකරගෙන ඉදිරියට යන්න මේ අයවැය අපිට වැදගත්.”