පවත්නා බරපතළ කොවිඩ් තත්ත්වය හමුවේ රට වසා දමන්නැයි මල්වතු-අස්ගිරි මහ නාහිමිවරුන් දෙපළ ජනාධිපතිතුමාගෙන් ගිය බ්‍රහස්පතින්දා ලිඛිත ඉල්ලීමක් කළහ. ඒ වනවිටත් අමරපුර ධර්ම රක්ෂිත නිකායේ මහානායක ත්‍රිකුණාමලේ ආනන්ද මාහිමියෝ කොවිඩ් වැළඳී ප්‍රතිකාර ලබමින් පසුවූහ. මෙම පසුබිමේ මහ නාහිමිවරුන් ගත් තීන්දුවට සමගාමීව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් 10 දෙනෙක් එකතු වී වහාම සති තුනකටවත් රට වසා දමන්නැයි ජනාධිපතිතුමාගෙන් ලිඛිතව ඉල්ලා සිටියෝය. එම ඉල්ලීම ක්ෂණිකව මාධ්‍ය වෙතද නිකුත් කර තිබිණි.
මෙම ලිපියට ප්‍රධාන හවුල්කාර පක්ෂ නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරු තිදෙනෙක්ද අත්සන් තැබූහ. වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ එම අමාත්‍යවරුය. ඔවුන් සමඟ එකට සිටි ශ්‍රීල.නි.ප. මහ ලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකරගෙන් ලිපියට අත්සන් කරන ලෙස හවුල්කාර පක්ෂ නායකයන් ඉල්ලා සිටි අවස්ථාවේ දයාසිරි ඊට අත්සන් කළේ නැත. පක්ෂයේ නිසි අවසරයකින් තොරව තමන්ට මෙයට අත්සන් කළ නොහැකි බව කියා දයාසිරි ඊට අත්සන් නොකර අදාළ රුස්වීමෙන් පිටව ගොස් තිබිණි.
කෙසේ හෝ බ්‍රහස්පතින්දා සවස මෙම ලිපිය ජනාධිපති කාර්යාලයට යවන විට ජනාධිපතිවරයා දහවල් භෝජනය සඳහා නිවෙසට ගොස් සිටියේය. ඔහු සවස 3.30ට පමණ නැවත කාර්යාලයට පැමිණි පසු මහ නාහිමිවරුන්ගේ හා පක්ෂ නායකයන්ගේ ඉල්ලීම ගැන කොවිඩ් කාර්යසාධක බළකායේ ජ්‍යෙෂ්ඨයන් සමඟද ජනාධිපති ලේකම් ආචාර්ය ජයසුන්දර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග ආදී මහත්වරුන් සමඟද සාකච්ඡා කර තිබිණි. මහ නාහිමිවරුන්ගේ ඉල්ලීම සාවධානව සලකා බලා සති අන්තයේ තමන් උන්වහන්සේලා හමුවන බව මහ නාහිමිවරුන්ට දන්වන ලෙස දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දැල මහතාට පණිවුඩයක් ලබාදුන්නේය. ඒ සමඟ දියවඩන නිලමේවරයාට රට වසා දැමීමට තිබෙන දුෂ්කරතා ගැන ජනාධිපතිවරයා දුන් පණිවුඩ දෙකද මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ට එවලේම ලබාදී තිබිණි. එවිට දියවඩන නිලමේවරයාට උන්වහන්සේලා පවසා තිබුණේ තමන් වහන්සේලා මුණගැසුණ මෙරට ප්‍රධාන පෙළේ වෛද්‍ය කණ්ඩායම් කිහිපයක් විසින් කරන ලද දැනුම්දීම අනුව මෙම ඉල්ලීම කළ බව පමණි. කෙසේ හෝ සෙනසුරාදා මහනුවරට ගොස් මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැක රට වසා දැමීමේ දුෂ්කරතාව පැහැදිලි කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර තිබිණි.
එහෙත් ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන් වූ වාසු, උදය හා විමල් පෙරදා පැය 5 ½ක් තරම් දිගට ගිය අමාත්‍ය මණ්ඩල රුස්වීමේදී රට වසා දැමීමේ යෝජනාවක් නොකර පසුදා සෙසු පක්ෂ ගණනාවක් සමඟ එක්වී රට වසන ලෙස ලිඛිතව දැන්වීම ගැන ජනාධිපතිවරයා සිටියේ තරහිනි. ඒ සමඟ මේ අමාත්‍යවරුන් තිදෙනාටම වෙන වෙනම දුරකතනයෙන් ඇමතූ ජනාධිපතිවරයා ඔවුන් කර ඇත්තේ බරපතළ වරදක් බවත් අමාත්‍ය මණ්ඩල සාමූහික වගකීම උල්ලංඝනය කර ඇති බවත් කීය. එබැවින් තමන්ට ඔවුන් අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කළ හැකි බවත් එක් අමාත්‍යවරයකු අමතා සඳහන් කර ඇත. එවිට අදාළ අමාත්‍යවරුන් සඳහන් කර ඇත්තේ තමන් වෙනත් පක්ෂ නියෝජනය කරන බැවින් ජනමතය අනුව මෙම ප්‍රකාශය කළ බවය. එහෙත් එක් අමාත්‍යවරයෙක් පමණක් තමන් එවූ ලිපියේ වරදක් ඇති බව පිළිගත්තේය. ඔහු තමන්ගේ ලිපිය මගින් වරදක් සිදුවූ නිසා එය නිවැරදි කරමින් අවශ්‍ය නම් පසුදා තමන්ට පමණක් ප්‍රකාශයක් කළ හැකි බව ජනාධිපතිවරයාට දැන්වීය.
ඒ අතර මේ ගැන දැඩි අසතුටින් සිටි ජනාධිපතිවරයා, අගමැති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ මහත්වරුන් වෙතද මෙම කරුණ දැනුම් දී තමන්ට මෙම අමාත්‍යවරුන් කැබිනට්ටුවෙන් ඉවත් කළ හැකි යැයි කියා තිබිණි. එහෙත් අග්‍රාමාත්‍යවරයා ගෝඨාභය ජනාධිපතිවරයාට කීවේ තමන් අදාළ අමාත්‍යවරුන් සමඟ කතා කොට ප්‍රශ්නය විසඳා ගන්නා බැවින් කලබල නොවන ලෙසයි
ඒ අනුව ඔහු වාසු, විමල් හා උදය සමඟ දුරකතනයෙන් කතාකොට සුහද ලෙස කරුණු විමසීය. එදා රාත්‍රියේ අරලිය ගහ මැඳුරේ ඔවුන් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් තමන් සූදානම් කර ඇති නිසා ඊට සහභාගි වී කතාබස් කොට ප්‍රශ්න විසඳාගනිමු යැයි මහින්ද ඔවුන්ට කීය. සිකුරාදා රාත්‍රි 7.30ට පමණ අදාළ අමාත්‍යවරු අරලියගහ මැඳුරට පැමිණ මහින්දගේ භෝජන සංග්‍රහයට එක්වූහ. ඊට එක්ව සිටියේ විමල්, උදය, වාසු සහ බන්දුල ගුණවර්ධන පමණි. පුරා පැය 4කට ආසන්න කාලයක් සුහද කතාබහ සමඟ රාත්‍රී භෝජනය ඇදී ගියේය. රාත්‍රී 11.30ට පමණ එය නිමාවූයේ සියලු තරහ මරහ අමතක කරමිනි.
මේ අතර ගෙවුණු සතියේ සිදුවන්නට ගිය වෙළෙඳ කුමන්ත්‍රණයක් පිළිබඳව කතාවක් ආණ්ඩුවේ ඉහළම තැනක සාකච්ඡා විය. එය පිටකොටුව තොග වෙළෙඳසල් වසා දැමීම සම්බන්ධ කතාවකි. ගෙවුණු සඳුදා කැබිනට් මණ්ඩල රුස්වීම පැවැත්වෙන අතරතුර ඇමැති බන්දුලට ගුණවර්ධන මහතාට උසස් පොලිස් නිලධාරියකුගෙන් ලැබුණු දුරකථන ඇමතුමක් හේතුවෙන් මෙම කුමන්ත්‍රණ කතාව අනාවරණය වූයේය. බදාදා දිනයේදී පිටකොටුව තොග වෙළෙඳපොළ වසා දමන්නට රහස් වැඩපිළිවෙළක් දියත් වන බවත් මෙම කුමන්ත්‍රණය සිදුකරන පිරිස ඒ පිළිබඳව අත් පත්‍රිකා තොගයක් බෙදා හැර ඇති බවත් ඇමැති බන්දුල ගුණවර්ධන මහතාට එම පොලිස් නිලධාරියා දැනුම් දුන්නේය.
කැබිනට් හමුව අවසන් වන්නට කලියෙන්ම ඇමැති බන්දුල මේ පිළිබඳ ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය දැනුවත් කළේය. එවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ ස්වයං නිරෝධායනයට ලක්වන අයට කිසිදු බාධාවක් නොකළ යුතු නමුත් පිටකොටුව තොග වෙළෙඳපොළ වසා දැමීමට කටයුතු කළහොත් රටේ භාණ්ඩ හුවමාරුව ඇණහිටින බවයි. එම නිසා නිසා පිටකොටුව තොග වෙළෙඳපොළ විවෘතව තැබීම සම්බන්ධව අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කළ යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේය.
ඒ අනුව ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පසුදා උදෑසන 7ටත් කලියෙන් පිටකොටුව තොග වෙළෙඳපොළ බලා පිටත්ව ගියේය. ඒ අනුව වෙළෙඳ සංගමය සමඟ සාකච්ඡා කොට සියලු සෞඛ්‍ය විධිවිධානවලට අනුගතව භාණ්ඩ හුවමාරුවට ඉඩ සලසා දීමට ඔහු කටයුතු කළේය. මෙම ගමනේ දී භාණ්ඩ පැටවීමේ සිට අලෙවිය දක්වා කටයුතු සිදු කරන සියලුම දෙනාට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව ද සොයා බැලීමට ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කටයුතු කොට තිබුණි. ඒ අනුව අවසානයේ දී කැබිනට්ටුවටත් ගිය පිටකොටුව තොග වෙළෙඳපොළ වසාදැමීමේ වෙළෙඳුන්ගේ අභියෝගය පරාජයට පත්විය.
වසංගතය හා දේශපාලනය එකම හැලියක පැසෙමින් තිබිණි. කැබිනට් සංශෝධනය, රට වැසීමට ඉල්ලීම් ඉදිරිපත්වීම ප්‍රමුඛ දේශපාලන කාරණා විය. ජනතාව ස්වයං අගුළු දමා ගැනීමකට ලක්වෙමින් සිටින බවක් පෙනී ගියේය. සමස්ත දේශපාලනය දෙස බහුතර ජනතාවගේ දෘෂ්ටිය කලකිරීම් සහගත විය. එය තවත් වසංගත දේශපාලන සතියක් විය.
කැබිනට් සංශෝධනයක් පිළිබඳව සතියක් පැවති දේශපාලන ආරංචි සපථ කරමින් පසුගිය සතියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය තුළ සංශෝධන කිහිපයක් සිදු කළේය. මෙම කැබිනට් සංශෝධන ක්‍රියාවලිය හා සබැඳි දේශපාලන කතිකාවන් රුසක් විය. ගෙවුණු සතිය ආරම්භයේ සිට බොහෝ දෙනකු උත්සාහ කළේ මෙම සංශෝධනයට හේතු භූත වූ කරුණු කාරණා දැනගැනීමටය. සඳුදා (16) සිදුවූ කැබිනට් සංශෝධනය පිළිබඳ සුවිශේෂී දේශපාලන ආරංචි කිහිපයක්ම අපට ද දැනගන්නට ලැබිණි.
මෙම සංශෝධනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවශ්‍යතාවයක් අනුව සිදුවූවකි. සංශෝධනය වූ අමාත්‍යාංශ කිහිපයක් සම්බන්ධව පසුගිය කාලය තුළ ජනපතිට ලැබී තිබූ හොඳ නරක ආරංචි රුසකි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අතර වූ අභ්‍යන්තර මතගැටුම ඉන් එකක් විය. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ කටයුතු සම්බන්ධව ද ජනපති සිටියේ එතරම් පැහැදීමකින් නොවේ. පසුගිය කාලය පුරා අසන්නට ලැබුණු ප්‍රකට සිදුවීම් කිහිපයක්ම ඊට හේතු විය. සෞඛ්‍ය අමාත්‍යාංශයට අමතරව විදුලිබල අමාත්‍යාංශය සහ තවත් අමාත්‍යාංශ කිහිපයක් පිළිබඳව ජනාධිපතිවරයාට විවිධාකාරයේ තොරතුරු ලැබී තිබිණි. ඒ අනුව කැබිනට් සංශෝධනයක් අවශ්‍ය බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විශ්වාස කළේය.
ඒ අනුව මෙම සංශෝධනය සිදුකිරීමට ජනාධිපතිවරයා අදහස් කළේ ගෙවුණු සතියේ නොව ඊට ඉහත සතියේය. පසුගිය සතියේ අප අනාවරණය කළ පරිදි මෙම සංශෝධනය පිළිබඳව ආණ්ඩුව නිර්මාණය කිරීමට මූලික වූ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට ජනපතිවරයා තීරණය කළේය. කැබිනට් සංශෝධනය පිළිබඳ ජනපතිගේ පණිවිඩය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවට රුගෙන ගියේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාය. අවස්ථා දෙක තුනකදීම පී.බී. ජයසුන්දර මහතා බැසිල් රාජපක්ෂ මහතා හමුවී කැබිනට් සංශෝධනය සම්බන්ධව සාකච්ඡා කළේය. එහෙත් බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් සංශෝධනයට එතරම් කැමැත්තක් නොදැක්වීය. බැසිල් රාජපක්ෂ මහතා මුල සිටම කියා සිටියේ මේ මොහොතේ කැබිනට් මණ්ඩල සංශෝධනයක් නොකළ යුතු බවයි. කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට ගියහොත් නැති ප්‍රශ්න ඇතිවන බවත් රටේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වනතුරු හිඳ මේ සංශෝධනය සිදු කළ යුතු බවත් ඔහු කියා සිටියේය. එසේම තවමත් ආණ්ඩුව පත් වී අවුරුද්දක්වත් ගෙවී නොමැති බව ඔහු සිහිපත් කළේය.
බැසිල්ගේ මෙම අදහස ජනපතිවරයාට සන්නිවේදනය වුවද නැවත නැවතත් ජනපති බැසිල් රාජපක්ෂ සමඟ මෙම සංශෝධනයේ අවශ්‍යතාව අවධාරණය කරන්නට විය. අවසානයේ ජනපතිවරයාගේ මතය කැබිනට් සංශෝධනයම වූයෙන් බැසිල් රාජපක්ෂ මහතා ද ඊට එකඟ විය. අනතුරුව පැන නැගුණේ අමාත්‍ය ධූර සඳහා පත්වීම සිදු කළ ආකාරය සම්බන්ධ ගැටලුවය. සෞඛ්‍ය අමාත්‍ය ධූරයට පළමුව යෝජනා වූයේ අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ නමයි. වෛද්‍යවරයකු වූ නමුත් රමේෂ් පතිරණ සෞඛ්‍ය අමාත්‍ය ධූරයට එතරම් කැමැත්තක් නොදැක්වීය. ඔහු විවිධ පාර්ශ්ව හරහා එය ජනාධිපතිවරයා ඇතුළු පිරිසට ඒත්තු ගන්වන්නට කටයුතු කළේය. මීළඟට සෞඛ්‍ය අමාත්‍ය ධූරයට යෝජනා වූයේ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නමයි. පෙරදී සෞඛ්‍ය අමාත්‍ය ධූරය දරා ඇති පළපුරුදු ප්‍රවීණයකු වූයෙන් ඔහු සම්බන්ධව ප්‍රසාදයක් බොහෝ දෙනෙකුට තිබිණි. එහෙත් අවසන් සාකච්ඡාව වන විට කියවුණේ නිමල් සිරිපාල අමාත්‍යවරයා දැනට බාරදී ඇති අමාත්‍යාංශය ඉතා හොඳින් හසුරවමින් සිටින නිසාවෙන් ඔහු මීට ඈඳා ගැනීම නුසුදුසු බවයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නම අවසානයේ දී යෝජනා විය. කරුණු කාරණා පැහැදිලි කරමින් නිරවුල්ව කතා කිරීමට ඇති හැකියාවත් අමාත්‍යවරයකු ලෙස ඔහු සතුව ඇති පළපුරුද්දත් මෙම තෝරාගැනීමට හේතු විය. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය කෙහෙළියට ලබා දීමේ යෝජනාව ස්ථිර විය. මේ අතර ජනමාධ්‍ය අමාත්‍යාංශය ඩලස් අලහප්පෙරුමට බාරදීමට ජනපතිවරයා තීරණය කර තිබිණි. එහෙත් ඔහු ඊට දිගින් දිගටම අකැමැති විය. ඩලස් සමඟ ජනපති වෙනුවෙන් අමාත්‍යාංශ මාරුව සම්බන්ධව කතිකාව සිදු කළේ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාය. මේ ආණ්ඩුවේ මාධ්‍ය විෂය බාරගැනීමට සිටින සුදුස්සා ඩලස් අලහප්පෙරුම බව මහින්දානන්ද අලුත්ගමගේ ඔහුට දිගින් දිගටම පැහැදිලි කළේය. අවසානයේ දී කෙසේ හෝ මාධ්‍ය ඩලස්ටම ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. මේ අතර ඩලස් අලහප්පෙරුම මහතා හට අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධව අදහසක් පැවති බවට දේශපාලන කරළියේ කතාවක් ද පැතිර ගියේය.
මුලදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ජනාධිපති කාර්යාලයට පත් කිරීමට යෝජනා වී තිබිණි. ජනාධිපති කාර්යාලයේ නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් කාර්යාලයක් ද සකස් කොට දීමට සූදානමක් විය. එහෙත් එම කටයුත්ත යම් හේතුවක් මත ප්‍රමාද විය. නාමල් රාජපක්ෂ මහතා හට සංවර්ධනය අධීක්ෂණ සම්බන්ධීකරණ අමාත්‍ය ධුරය හිමිවූයේ මේ අතරයි. මීට ඉහතදී ව්‍යාපෘති අධීක්ෂණ කටයුතු භාරව සිටියේ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාය. රාජ්‍ය ඇමැතිවරයකුගේ විෂයක් කැබිනට් අමාත්‍යවරයකුට පැවරීම පිළිබඳ ඔහු තරමක් විමතියට පත් වී සිටියේය. රාජ්‍ය අමාත්‍යවරයකු වුවද අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ලැබී තිබුණේ ආයතන දෙක තුනක් පමණි. ඒ අනුව මෙම සංශෝධනය සමඟ අවසානයේ ව්‍යාපෘති අධීක්ෂණ කොටස යටතේ ඔහුට ඉතිරි වූයේ රජයේ ඔපරේෂන් රෑම් නම් කොටස පමණි.
ඒ අනුව අජිත් නිවාඩ් කබ්රාල් මහතා ජනපතිට ලිපියක් ලිව්වේය. එය අසතුට ප්‍රකාශ කිරීමේ ලිපියක් නොවූ නමුත් ඉන් ඔහු ප්‍රකාශ කළ සතුට තුළ අපූරු අසතුටක් ගැබ්ව තිබිණි. ඒ අනුව කබ්රාල් මහතා සිය ලිපියෙන් කියා සිටියේ තමාගේ අමාත්‍යාංශය කැබිනට් අමාත්‍යාංශයක් වීම පිළිබඳව සතුටු වන බවයි. එසේම තම රාජ්‍ය අමාත්‍යාංශයට අයත්ව තිබූ ව්‍යාපෘති අධීක්ෂණය විෂය නව අමාත්‍යවරයාට පවරා ඇති නමුත් ඊට ඔපරේෂන් රෑම් එක පමණක් පවරා නොමැති බව ඔහු මෙම ලිපියෙන් ජනාධිපතිවරයාට සිහි කළේය. එය ජනපතිවරයාට සිදුවූ අතපසුවීමක් විය හැකි බවත් ඒ නිසා එය ද නව අමාත්‍යවරයාට පවරා දෙන ලෙසත් ඔහු කීවේය.
මේ අතර කැබිනට් සංශෝධනයේ දී බොහෝ දෙනකුගේ අවධානය යොමු වුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදුවූ වෙනස සම්බන්ධවය. ප්‍රවාහන ඇමැතිකම ලද හිටපු සෞඛ්‍ය ඇමැති පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය ද නව පත්වීම සම්බන්ධව එතරම් සතුටු වන බවක් නොපෙනුණි. සෞඛ්‍ය අමාත්‍යාංශයට සමුදීමට පැමිණි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය රජු රකින්නට උපදෙස් දුන් පුරෝහිතයකුට වූ සන්තෑසියක් පිළිබඳ පැරණි අටුවා කතාවක් පිරිස අමතමින් කීවාය. හැමදේම වෙන්නේ හොඳට බව සිතා සැනසෙන බවක් ඇගේ කතාවෙන් ද ස්වරයෙන් ද පැහැදිලි විය. කෙසේ වෙතත් ඇය පවසා සිටියේ බලාපොරොත්තු නොවූ මොහොතක අමාත්‍ය ධූරය වෙනස් වීම සිදු වූ බවයි. එම ස්ථානයට යන තුරුත් මෙවැනි මාරුවීමක් පිළිබඳව තමන් දැනුවත්ව නොසිටි බවද ඇය පැවසුවාය. මේ අතර පවිත්‍රා අසතුටින් බව දැනගත් පොදුජන පෙරමුණු ඇමැතිවරුන් කිහිප දෙනෙක්ම ඇය අමතා දුක තුනී කිරීමට උත්සාහ කළහ.
ගෙවුණු සතියේ සමගි ජන බලවේගය ආණ්ඩුවේ වසංගතය මර්දන වැඩපිළිවෙළේ ඇති දුර්වලතා සම්බන්ධව බරපතළ විවේචන එල්ල කරන්නට විය. ඒ අතර ඔවුහු පසුගිය සතියේ පවත්වන්නට නියමිතව තිබූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රුස්වීම වහාම අත්හිටුවීමට පියවර ගත්හ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ලබා දුන් උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බව ඔවුහු ප්‍රකාශ කළහ. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ආණ්ඩුව සිය වගකීම සහ වගවීම පසෙකලා කටයුතු කරන බැවින් ස්වයං ලොක්ඩවුන් වීමකට යොමුවන ලෙස සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය සහ ඒ සමඟ සන්ධානගත වී සිටින පක්ෂ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. ආණ්ඩුව එක් පැත්තකින් වෛරසයේ විකෘති ප්‍රභේද ව්‍යාප්තිය ගැන කියන අතර ජනතාවට නිවෙස්වලින් බැහැර නොයන ලෙස ඉල්ලා සිටී. එසේම රට ලොක්ඩවුන් නොකරන බව ද කියා සිටී. මෙම හතරබීරි කතාවේ අර්ථය කුමක්ද?* යනුවෙන් ඔවුහු ඒ හරහා ප්‍රශ්න කර සිටියහ.
මේ අතර සජිත් ප්‍රේමදාස මහතා කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන මංගල සමරවීර මහතාට උපකාර කළ පුවතක් ද දැනගන්නට ලැබිණි. ඒ අනුව කොරෝනා ආසාදිත වීම හේතු කොටගෙන දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මංගල සමරවීර මහතාට එක්තරා ඖෂධයක් අත්‍යවශ්‍ය වී ඇතැයි කියති. එහෙත් ඖෂධය වෙළෙඳපොළේ හිඟවීම හේතුවෙන් වෛද්‍යවරුන්ට එම ඖෂධය සොයාගැනීම අපහසු වී ඇති බව කියැවේ. කෙසේ වෙතත් ඒ බව දැනගැනීමට ලැබීමත් සමඟ අදාළ ඖෂධය සොයා දීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇති බව කියැවේ. ඒ අතර මංගල සමරවීර මහතා මිය ගිය බවට අසත්‍ය ප්‍රචාරයක් ද ගෙවුණු සතියේ සමාජ මාධ්‍යයේ පැතිර ගියේය. කොරෝනා ආසාදනය වීමෙන් මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන සමරවීර මහතා එක අවස්ථාවක අසාධ්‍ය වී සිටියේය. වෛරසය ආසාදනය වී දින කිහිපයක් ඉක්ම යනතුරු සමරවීර මහතාගෙන් රෝග ලක්ෂණ ප්‍රකට නොවීම හේතුවෙන් ඔහු මෙසේ පීඩාවට පත්ව ඇතැයි කියැවේ. ඒ කෙසේ වෙතත් මේ වන විට මංගල සමරවීර මහතා අවදානම් තත්ත්වයෙන් මිඳෙමින් සිටින බව දැනගන්නට තිබේ.
ගෙවුණු සතියේ සිදුවූ තවත් සුවිශේෂී සිදුවීමක් වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අඟහරුවාදා (17) කොළඹදී පැවති සාකච්ඡාවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර සඳුදා (16) ඇතිවූ දුරකථන සංවාදයක ප්‍රතිඵලක් ලෙස මෙම සාකච්ඡාව පැවැත්වූ බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබිණි. කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනපතිවරයා සහ එජාප නායකයා අතර පැවති මෙම විශේෂ සාකච්ඡාව විනාඩි 40ක පමණ කාලයක් පැවති බව වාර්තා වෙයි. මෙහිදී කොවිඩ් වසංගතය පිටුදැකීම සඳහා සෞඛ්‍ය සහ ආර්ථිකය සුරක්ෂිත වූ රටක් වෙනුවෙන් ප්‍රතිපත්ති 21ක් සහිත යෝජනා මාලාවක් රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර තිබිණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවලට යහපත් ප්‍රතිචාරයක් දැක්වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගෙවුණු සතියේ පාර්ලිමේන්තුවේ දී වසංගතය මර්දනය සහ ආර්ථික කළමනාකරණය සම්බන්ධව යෝජනා කිහිපයක් ඉදිරිපත් කළේය. විපක්‍ෂ නායකයා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් ආපදා කළමනාකරණ සභාව රුස් කිරීම, ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින ආණ්ඩුව හදිසි ආර්ථික සහන වෙනුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ජා කිරීම, එන්නත් ලබා දීම ඇතුළු සියලු සෞඛ්‍යයට අදාළ කටයුතු වෛද්‍ය හා සෞඛ්‍ය නිලධාරීන්ට බාරදීම ආදී ඉල්ලීම් රුසක් ඊට ඇතුළත් විය.
ගෙවුණු සතියේ බ්‍රහස්පතින්දා (19) අවම වශයෙන් සති තුනකට රට අගුළු දමන ලෙස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යෝජනාවක් ඉදිරිපත් කළේය. ප්‍රධාන කරුණු 7ක් ඇතුළත්ව සකස් කර තිබූ එම යෝජනාවලියේ අපේක්ෂිත ප්‍රතිඵල හතරක් ද සඳහන් කොට තිබිණි. ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් රෝහල් ධාරිතාව ඉක්මවා යනු ඇති බවත් ඊට විසඳුම රට සති තුනකට අගුළු දමා එම යෝජනා ක්‍රියාත්මක කිරීම බවත් ඔවුන් වැඩිදුරටත් එහි සඳහන් කර තිබිණි. අපේ ජනබල පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ජාතික කොංග්‍රසය, එක්සත් මහජන පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය හා යුතුකම ජාතික සංවිධානය යන පක්ෂවල නායකයන් විසින් අදාළ යෝජනාවලියට අත්සන් තබා තිබිණි.
දේශපාලන ආරංචි මාර්ග අනුව දැනගන්නට ලැබුණේ මෙම යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්සන් තබා නොමැති නමුත් ඊට සෙසු පක්ෂ නායකයන් අත්සන් තබන අවස්ථාවේ දී ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා එම ස්ථානයේ සිටි බවයි. ශ්‍රීලනිපය වෙනුවෙන් ඊට අත්සන් තැබීමට සෙසු පිරිස ඔහුට ආරාධනා කළද ඔහු එය ප්‍රතික්ෂේප කර තිබේ. පක්ෂයේ එකඟතාවකින් තොරව අත්සන් කළහොත් තමන්ට ගැටලුවක් වන බව ඔහු පවසා ඇතැයි කියැවේ. කෙසේ වෙතත් එදිනම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ ඉහළ යන කොරෝනා ආසාදිතයන් සහ මරණ පාලනය කර ගැනීම සඳහා යම් කාලයකට රට වැසීම හෝ ඇදිරි නීතිය පැනවීම සිදු කළහොත් ඒ සඳහා හැකියාවක් ලැබෙනු ඇති බවයි. විශේෂඥ වෛද්‍යවරුන්, විද්වතුන් මෙන්ම දේශපාලන පක්ෂ නායකයන්ගේ ද ඉල්ලීම වී ඇත්තේ සති දෙක තුනකට රට වසා දැමීම බැවින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත නිසි තීරණයක් ගැනීම සුදුසු යැයි ද මහ ලේකම්වරයා එහිදී කියා තිබිණි. කෙසේ වෙතත් රට වසා දැමීම හෝ ඇඳිරි නීතිය පැනවීම ආදී ක්‍රියාමාර්ග ගත යුත්තේ දේශපාලකයන් විසින් නොව සෞඛ්‍ය විශේෂඥයන්ගේ අදහස අනුව යැයි ද ඔහු කීවේය. එසේම පවතින තත්ත්වය මත සර්වපාක්ෂික හමුවක් කැඳවීම සුදුසු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා ආණ්ඩුවේ ප්‍රධානීන්ගෙන් ඉල්ලා ඇතැයි ද සඳහන් කළේය.
මේ අතර පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් රට සතියක කාලයකට හෝ වසා දැමීමට කටයුතු කරන්නැයි අස්ගිරි හා මල්වතු පාර්ශ්වයන්හි මහ නාහිමිවරු ඉල්ලා සිටියහ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත් ලිපියක් යොමු කරමින් උන්වහන්සේලා මෙම ඉල්ලීම සිදු කළහ. තවත් පාර්ශ්ව රුසක් රට වසා දැමීමට අදාළ ඉල්ලීම් ඉදිරිපත් කරන්නට විය. මහජනතාව සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කොරෝනා වසංගතයෙන් බේරාගැනීමට විද්‍යාත්මකව රට වසා දමන්නැයි සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව ඉල්ලා සිටියේය. රජය මෙම සිකුරාදා වන විට රට වසා දැමීම සිදු නොකළහොත් වෘත්තීය සමිති ලෙස එළඹෙන සඳුදා දිනයේ පටන් රට වසා දමන බව සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයන් කිහිප දෙනෙක් සඳහන් කළහ. ඒ අතර රට තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ්-19 වසංගතය හමුවේ සිය ක්‍රියාකාරීත්වය තාවකාලිකව අත්හිටුවා ස්වේච්ඡාවෙන්ම අගුළු පනවා ගැනීමේ තීරණයට එළැඹීමට දිවයින පුරා ප්‍රධාන නගර රුසක වෙළෙඳ සංගම් තීරණය කොට තිබිණි.
පසුගිය සතියේ ලොව උණුසුම් කළ ඇෆ්ගනිස්ථානය තලේබාන් පාලනයට යටත් වීම සම්බන්ධව මෙරට විවිධ දේශපාලන කතිකාවන් ඇතිවිය. මේ කතිකාවන් අතරතුර තලේබාන්වරුන්ගේ පාලනයට යටත් වූ ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනාධිපතිවරයකු වන හමීඩ් කර්සායි වෙත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් දුරකථන ඇමතුමක් ලබා දී තිබිණි. 2001-2014 කාල සමයේ ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ කර්සායි මේ වන විට නව ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් තලේබාන් සටන්කාමීන් සමඟ සාකච්ජා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ. ඒ අනුව ට්විටර් පණිවුඩයක් තබමින් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ ඇෆ්ගනිස්ථානයේ ජනතාවට ලංකාවේ අඛණ්ඩ සහාය ලබා දෙන බවයි. හමීඩ් කර්සායිහට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳව සහතික වී තිබේ.
ඇෆ්ගනිස්ථානය ත්‍රස්තවාදී මධ්‍යස්ථානයක් බවට පත්වෙනවා නම් එයින් ලංකාවට සිදුවන බලපෑම වැළැක්වීමට ගතයුතු පියවර ගැන ආණ්ඩුවේ අවධානය යොමු විය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය. ශ්‍රී ලාංකිකයන්ට ඇෆ්ගනිස්ථානයට ගමන් කිරීම නතර කිරීමට ක්‍රියා කළ යුතුව ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. දැනට තලේබාන් පාලනය පිළිනොගෙන අනාගතය දෙස බලා තීරණයක් ගත යුතු බව තම අදහස යැයි කී වික්‍රමසිංහ මහතා බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කළ තලේබාන් සංවිධානය පිළිගතහොත් මේ කලාපයේ නැති කළ ත්‍රස්තවාදය නැවත ඇති කිරීමට එය උපකාර කිරීමක් වන බවද සඳහන් කළේය.
සති අන්තය වන විට තවත් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් පිළිබඳ දේශපාලන කසුකුසුවක් ඇති වී තිබිණි. රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවක දී කී කතාවක් ඊට පදනම විය. ඒ අනුව ඉදිරියේදී තවත් අමාත්‍යංශ කිහිපයක් සංශෝධනය කිරීමට නියමිත බව රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසා තිබිණි. ආණ්ඩුවක් එකම ආකාරයට සම්පූර්ණ කාලයම ගත කිරීම අත්‍යවශ්‍ය නොවන බවද ඔහු එහිදී ප්‍රකාශ කර තිබිණි. කැබිනට් සංශෝධනයන් සිදු කරන්නේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා මිස දුර්වලකම් සඟවා ගැනීමට නොවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබිණි.
(deshaya.lk වෙබ් අඩවිය ඇසුරිනි)