තවත් මල් කැකුළක් බරපතල ලිංගික අපයෝජනයට ලක්වේ.. දැරියගේ සීයා අත්අඩංගුවට…

0
Sexual Abuse - තවත් මල් කැකුළක් බරපතල ලිංගික අපයෝජනයට ලක්වේ.. දැරියගේ සීයා අත්අඩංගුවට...

වයස අවුරුදු 11 ක දැරියක් බරපතල ලිංගික අපයෝජනයට ලක්කල වයස අවුරුදු 62 ක පුද්ගලයෙක් (දැරියගේ සීයා) ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අත්අඩංගුවට ගත් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පවසනවා.

සැකකරු ඉකුත් 29වන දින අත්අඩංගුවට ගෙන කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 12වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙනවා.

මෙම දැරිය මව, පියා සහ නංගී සමඟ සිටින අතර, දැරියගේ මව සහ පියා යන දෙදෙනාම රැකියාවල් සඳහා නිවසින් බැහැරව යන බැවින්, එම කාලය තුළ දැරිය (අවු.11) සහ ඇගේ සොහොයුරිය (අවු.05) රැකබලා ගැනීම සිදු කරන ලද්දේ දැරියගේ ආච්චී (මවගේ මව) විසින්.

දැරියගේ ලොකු අම්මාට (දැරියගේ මවගේ වැඩිමල් සහෝදරිය) ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් දැරියගේ ආච්චි ලොකු අම්මාව බලාගැනීම සඳහා පිටත්ව ගිය බවත් මෙම දැරියන් දෙදෙනාව බලාගැනීම සඳහා මෙම දැරියගේ මව විසින් තම පියා නිවසට ගෙන්වා ගෙන ඇති බවත් පැවසෙනවා.

දැරියගේ දෙමාපියන් රැකියාවට ගිය පසු මෙම පුද්ගලයා දැරියව බරපතල ලිංගික අපයෝජනයට ලක්කර ඇති අතර දැරිය මෙම සිදුවීම් මවට පැවසීමට අපහසු බැවින් සීයා විසින් සිදුකළ අපයෝජනය කොල කැබැල්ලක ලියා මවට පෙනෙන සේ තැබීමට කටයුතු කර තිබෙනවා.

දැරියගේ මව විසින් එම කොළ කැබැල්ල දැක තම පියාගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු එම දැරියව අපයෝජනය කළ බවට පිළිගෙන ඇතයි වාර්තා වනවා.

තම දියණියන් ආරක්ෂා කරගැනීම ස්වභාවික භාරකරුවන් ලෙස මව්පියන්ට පැවරෙන අතර එහිදී වගකීමෙන් කටයුතු කිරීම සිදුකළ යුතු බවත්, ළමයින් ආරක්ෂා කිරිමේදී පවුලේ ඥාතීන්ද ඉතා වගකීමෙන් කටයුතු කිරීමෙන් මෙවන් අපයෝජනයන්ගෙන් ළමයින් ආරක්ෂා කරගත හැකි බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා වැඩිදුරටත් දන්වා තිබෙනවා.