01වැනිදා සිට පළාත් අතර මගී ප්‍රවාහන සේවා ඇරඹේ

0
01වැනිදා සිට පළාත් අතර මගී ප්‍රවාහන සේවා ඇරඹේ

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ පෞද්ගලික අංශයේ බස්රථ සීමිත ප්‍රමාණයක් පළාත් අතර මගී ප්‍රවාහන කටයුතු සඳහා විවිධ කොන්දේසි යටතේ ලබන 01වැනිදා සිට යෙදවෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසීය.

කාර්යාල වේලාවන්හිදි පමණක් දිනපතා උදේ සවස මේ ආකාරයට බස් රථ ධාවනය කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.

එසේම සීමිත දුම්රිය ප්‍රමාණයක්ද පළාත් අතර මගී ප්‍රවාහනය සඳහා දිගටම යෙදවෙන බව කී අමුණුගම මහතා පළාත් අතර මගී ප්‍රවාහනය සඳහා යෙදවෙන්නේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහතික කරන බස්රථ සීමිත සංඛ්‍යාවක් පමණක් බවද පැවැසුවේය.

ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයක් පැතිරෙමින් තිබෙන හෙයින් ජනතාව පළාත් අතර ගමන් කිරීමේදී දැඩි ලෙස පරීක්ෂාකාරී විය යුතු බවත් අත්‍යවශ්‍යම කටයුත්තකට හැරෙන්නට මගී බස් රථ දුම්රිය යොදා ගැනීමෙන් වළකින ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

පළාත් අතර ධාවනය කෙරෙන බස් රථවල ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සහතිකය අනිවාර්යෙන්ම ප්‍රදර්ශනය කළ යුතු වේ.

කොරෝනා තුන්වෙනි රැල්ල ආරම්භ වීමත් සමග පළාත් අතර මගී ප්‍රවාහන සේවා තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළේය.