හිමිනමක් ඝාතනය කිරීමට තවත් හිමිනමකගෙන් රුපියල් ලක්ෂ 11ක්

0
Murder Attempt - හිමිනමක් ඝාතනය කිරීමට තවත් හිමිනමකගෙන් රුපියල් ලක්ෂ 11ක්
ඉංගිරිය දීපාලෝක විහාරවාසී ලුණුගම්වෙහෙර විනීත හිමියන් ඝාතනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවක් ලබාදුන් එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් සහ එය ලබාගත් රියැදුරු ඊයේ (ජූලි 7) අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත ලුණුගම්වෙහෙර විනීත හිමියන් විසින් කරන ලද ලිඛිත පැමිණිල්ලක් අනුව පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහතාගේ අධීක්ෂණය යටතේ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

ඉංගිරිය, ඉංගිරිය වත්ත ප්‍රදේශයේ පදිංචි විහාරස්ථානයේ රියැදුරු ලෙස කටයුතු කරන පුද්ගලයා මාර්ගයෙන් නාරහෙන්පිට 60 වත්ත ප්‍රදේශයේ ‘පැලවත්ත පොඩි’ නමැති පුද්ගලයකුට මෙම ඝාතන සැලසුම සිදු කිරීම සඳහා මීට වසර දෙකකට පමණ ඉහතදී භාර දීමට කටයුතු කර තිබූ බව පොලිසිය කියයි.

ඒ සඳහා රුපියල් ලක්ෂ 15ක මුදලක් ලබා දීමට කැමැත්ත පළකර අවස්ථා හතරකදී ලක්ෂ 11ක මුදලක් සැකකාර විහාරාධිපති හිමියන් රියැදුරු වෙත ලබාදී තිබූ බව විමර්ශනවලදී හෙළි වූ බව පොලිසිය කියයි.

සැකකාර විහාරාධිපති හිමියන් සැකකාර රියැදුරුට රුපියල් ලක්ෂ 11ක මුදලක් ලබා දුන්න ද ඝාතන සැලසුම ක්‍රියාත්මක කිරීමට තෝරාගත් පැලවත්ත පොඩි නමැත්තාට කිසිදු මුදලක් මේ වනවිටත් ලබා දී නොතිබූ බව පොලිසිය කියයි.

සැකකාර රියැදුරු එම මුදල් යොදවා ඔහු පදිංචි නිවස නවීකරණය කිරීම, රන් භාණ්ඩ මිලදී ගැනීම මෙන් ම අලුත් ම පාපැදියක් ද මිලට ගෙන තිබුණු බව සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත.

පැමිණිලිකාර ලුණුගම්වෙහෙර විනීත හිමියන් ඉදිරියේදී විහාරාධිපති හිමිකම ලැබීමට පිළිවෙළින් සිටින සුදුසු හිමිනම වන අතර එම හිමියන්ගේ ජීවිතයට අනතුරක් සිදු කළොත් එය ඉබේට ම වෙනත් හිමිනමකට අයිති වන බැවින් එම අරමුණ ඉෂ්ට කර ගැනීම සඳහා සැකකාර විහාරාධිපති හිමියන් මෙම ඝාතන සැලසුම ක්‍රියාත්මක කර ඇති බව මේ වන විට සිදුකළ විමර්ශනයෙන් හෙළි වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

සැකකාර රියැදුරු විසින් මීට මාස දෙකකට පමණ ඉහතදී ලුණුගම්වෙහෙර විනීත හිමියන් අමතා ඔබ වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට විහාරාධිපති හිමියන් සැලසුම් කරන බවත් ඒ වෙනුවෙන් ද මේ වන විටත් රුපියල් ලක්ෂ 11ක් තමන් වෙත ලබාදී ඇති බව පැවැසීමෙන් අනතුරුව විනීත හිමියන් විසින් ඒ බව සඳහන් කර බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත පැමිණිලි කර තිබූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

සැකකාර විහාරාධිපති හිමියන් සහ රියැදුරු හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.