පරීක්ෂාවකින් තොරව නිදහස් කල රතු ලේබල් කන්ටේනර් 323 නුත් අවසන් නොවුන බහලුම් තදබදය අවසන් වන දිනය මෙන්න.

0
බහලුම් තදබදය

වරාය තුළ මේ වනවිට පවතින බහලුම් තදබදය ලබන මස තුන්වන සතිය වන විට සම්පුර්ණයෙන්ම අවසන් කළ හැකි බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

මේ වනවිට ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස්කරමින් සිටින බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු අද දෙරණ වෙත පැවසීය.

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වරාය වෙත දෛනිකව පැමිණ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සොයා බැලීම සිදුකරන බව සඳහන්ය.

මෙරටට වැඩිම බහලුම් ප්‍රමාණයක් ආනයනය කරනු ලබන්නේ චීනයෙන් සහ ඉන්දියාවෙන් වන අතර ජනවාරි මස තුන්වන සතියේ පමණ සිට  චීනයෙන් ආනයනය කරන බහලුම් තාවකාලිකව නැවතී තිබේ.

ඊට හේතුවී ඇත්තේ චීනයේ නව අවුරුදු උත්සවය හේතුවෙන් මසක කාලයක් එරට කර්මාන්ත ශාලාවලට නිවාඩු ලබා දීමයි.

ඒ අනුව මෙරටට ලැබෙන බහලුම් ප්‍රමාණය සැලකිය යුතු අඩු වීමක් පෙබරවාරි මස දෙවන සතිය දක්වා සිදුවන අතර එම කාලය තුළ පවතින බහලුම් තදබදය හැකි ඉක්මනින් අවසන් කිරීමට හැකිවනු ඇති බව ශ්‍රි ලංකා රේගුව පැවසීය.