රාජ්‍ය සේවය දේශපාලනීකරණය වෙනවා අත්තනෝමතික ස්ථාන මාරු කිරීමේ සොයා බැලීම සඳහා සජබෙන් විශේෂ ඒකකයක්

0
ස්ථාන මාරු

රාජ්‍ය නිලධාරීන් සඳහා පිළිගත නොහැකි තර්කානුකූල නොවන පදනමකින් තොර සේවා ස්ථාන මාරු කිරීමේ සොයා බැලීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවන බව සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය.

පළාත් පාලන සහකාර කොමසාරිස්වරු, පළාත් පාලන ආයතන ලේකම්වරුන් මෙන් ම සමූපකාර සහකාර සංවර්ධන කොමසාරිස් වැනි මාණ්ඩලික මෙන් ම ක්ෂේත්‍ර නිලධාරීන්ට ද මෙය බලපෑ ඇති බවට වාර්තා වන බව ත් රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට කටයුතු කරනවා යැයි පොරොන්දුවක් ලබා දෙමින් බලයට පැමිණි ආණ්ඩුව මෙලෙස කටයුතු කිරීම ගැටලුසහගත බව ත් එම නිවේදනයේ සඳහන් කර ඇත.

එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, පෙර නොවූ විරූ අයුරින් රාජ්‍ය සේවය තුළ ශිඝ්‍ර ලෙස දේශපාලනිකරණය වීමක් සිදුවෙමින් පවතින අතර එය ඉදිරි මැතිවරණ ඉලක්ක කොටගත් වැඩපිළිවෙලක් ලෙස ආණ්ඩුව ක්‍රියාත්මක කරන බව පැහැදිලිව ම නිරීක්ෂණය වන බව ය.

මෙම මාරු කිරීම් තුළ ඒ ඒ ක්ෂේත්‍රයේ සේවාවන් ඉටුකිරීම් පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් උද්ගතවන බව ත් එම නිලධාරීන්ට ද පෞද්ගලිකව බොහෝ ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව ත් එම නිවේදනයේ සඳහන් කර ඇත.

එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, මෙවැනි සිදුවීම් පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවන අතර ඒ සඳහා නාමික හෝ නිර්නාමිකව තොරතුරු ලබා දීමට ඕනෑ ම අයෙකුට අවස්ථාව සැලසෙන බව ය.

රාජ්‍ය සේවයේ මාරුවීම් සිදුවිය යුත්තක් වන නමුත් එය සැඟවුණු න්‍යාය පත්‍රයකට අනුකූලව සිදුවන්නේ නම් එය පිළිබඳව කටයුතු කිරීම විපක්ෂය වගකීම බව ත් රජය සහ පළාත් සභා මට්ටමින් අත්තනෝමතික සිදු කරනු ලබන සියලු ම මාරු කිරීම් අත්හිටුවන ලෙස ආණ්ඩුවට සහ පළාත් බලධාරීන්ට අවධාරණය කරන බව සමගි ජන බලවේගය පවසයි.